පාකිස්තානු ක්‍රීඩකයා මිලියන 4.5ක දඩයක් ගෙවයි

126

පාකිස්තාන පිතිකරු Umar Akmal පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට පාකිස්තානු රුපියල් මිලියන 4.5ක දඩයක් ගෙවා තිබෙනවා. ඒ අනුව ඔහුට දැන් පාකිස්තාන ක්‍රිකට් පාලන මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකයේ පුනරුත්තාපන වැඩසටහනට සහභාගී වීමට අවකාශ තිබෙනවා.

Umar Akmalට මේ දඬුවම පනවනු ලැබුවේ පාකිස්තාන ක්‍රීඩා බේරුම්කරණ උසාවිය විසිනුයි. ඒ පසුගිය පෙබරවාරි මාසයෙයි.

“ප්‍රායෝගිකව Akmalට ක්‍රිකට් ක්‍රීඩාවට යළි ආරම්භ කරන්නට ටික කාලයක් ගත වෙයි. මොකද මේ දිනවල පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකය ලබන මාසයේ අබුඩාබි හිදී පවත්වන පාකිස්තානු සුපර් ලීග් සංවිධාන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. එම නිසා පුනරුත්තාපන වැඩසටහන ආරම්භ කරන්නට ටිකක් කල් ගත වෙයි” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් Hindustan Times වෙත පවසා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

දඩ මුදල කොටස් වශයෙන් ගෙවන්නට Akmal ඉල්ලුම් කර තිබුනත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. දූෂණ මර්දන චර්යා ධර්ම සංග්‍රහය කඩ කිරීම නිසා Akmalට 2020 වසරේ පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ලෙස තරග තහනමක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළා.

31 හැවිරිදි Akmal අවසන් වරට පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දීයි. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියක දී. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2011 වසරේ දී වන අතර අවසන් වරට එක්දින තරගාවලියක් ක්‍රීඩා කළේ 2019 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් Akmalට මාස 18ක තරග තහනමක් පැනවූ නමුත් ක්‍රීඩා බේරුම්කරණ උසාවිය විසින් එම දඬුවම මාස 12ක් දක්වා පහත දැමුවා.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<