සෝන්ඩර්ස් හමුවේ ක්‍රිස්ටල් පැලස්ට ජය

337

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 10 වන සතියේ තරගයක් ලෙස ඊයේ (04) කැලණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති ක්‍රිස්ටල් පැලස් FC කණ්ඩායම සහ සෝන්ඩර්ස් SC කණ්ඩායම අතර තරගයෙන් ගෝල 3-1ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

2018 වසර සඳහා වන වයස අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට තේරීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සත්කාරක ටජිකිස්ථානය…

කණ්ඩායම් දෙකම තරගාවලියේ ලකුණු සටහනේ අවසන් ස්ථානවල පසුවීම නිසා කණ්ඩායම් දෙකම මෙම තරගය සඳහා පිවිසියේ තරගය ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙනි.

තරගය ආරම්භයේ පටන් එතරම් පැහැබර කාලගුණ තත්වයක් නොපැවතියත්, තරගය දිගටම පවත්වන්නට කටයුතු කෙරිණ. සෝන්ඩර්ස් කණ්ඩායමට ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන්නට ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් අක්රම් උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ථ කරමින් තරගයේ 10 වන මිනිත්තුවේ දී සෝන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරන්නට ක්‍රිශාන්ත අබේසේකර සමත් විය.

Highlights – Moragasmulla SC v Renown SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

අනතුරුව සෝන්ඩර්ස් ක්‍රීඩකයින් තවත් ගෝලයක් වාර්තා කර ගැනීමට ආසන්නයට පැමිණියත් එවර ක්‍රියාත්මක වූ ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ ආරක්‍ෂක ක්‍රීඩකයින් එම අවස්ථාව වළකාලන්නට සමත් විය.

කෙසේ නමුත් පළමු අර්ධයේ මැද භාගය පමණ වන විට ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින් හොඳින් තරගයට අවතීර්ණ වූ අතර අවස්ථා කිහිපයක දීම ගෝලයක් වාර්තා කර ගන්නට ඔවුන් ඉතා ආසන්නයට පැමිණියත් ගෝල රාමුව ආසන්නයෙන් පන්දුව ඉවතට ඇදී යාම නිසා ඔවුන්ට එම අවස්ථාවන් අහිමි විය. දිගින් දිගටම ඔවුන් එල්ල කළ පීඩනය නිසා තරගයේ 22 වන මිනිත්තුවේ දී ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට ඔවුන්ගේ සිය පළමු ගෝලය වාර්තා කරගන්නට හැකි විය. එම ගෝලය වාර්තා කරගනු ලැබුවේ ෂමිල් හිල්මි විසිනි.

අනතුරුව ක්‍රීඩාලෝලීන් කිහිප දෙනෙක් පිටිය තුළට කඩා වැදීම නිසා විනිසුරුවරුන් පිටියෙන් ඉවත්ව යාම හේතුවෙන් තරගය මිනිත්තු කිහිපයකට නවතා තබන්නට සිදු වූ අතර ඒ අනුව නැවත වරක් ක්‍රීඩා පිටිය තුළ සූදානම් කර තිබූ ආරක්‍ෂක විධිවිධාන වල මදිකම හොඳින් දැකගත හැකි විය.

Highlights – Saunders SC v Air Force SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

තරගයේ පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ දී ද ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින් ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් වූ අතර අනෙක් පසින් සෝන්ඩර්ස් කණ්ඩායමට ද ගෝලයක් රැස්කර ගැනීමට තිබූ අවස්ථාවන් 2ක් ඔවුන් අතින් ගිලිහී ගියේය.

පළමු අර්ධය: ක්‍රිස්ටල් පැලස් FC 1 – 1 සෝන්ඩර්ස් SC

දෙවන අර්ධයේ ආරම්භයත් සමඟ වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර ඒ අනුව පිටිය තුළ ඇතිවූ තෙත බරිත ස්වභාවය හේතුවෙන් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට තරමක අපහසු තත්වයක් ඇතිවිය. කෙසේ නමුත් පළමු අර්ධයේ දී දියත් කළ ප්‍රබල ක්‍රීඩා රටාව දෙවන අර්ධයේ දී ද ඒ ආකාරයටම දියත් කළ ගම්පොළින් පැමිණි ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 4ක් පමණක් ගතවද්දී තරගයේ ඔවුන්ගේ දෙවන ගෝලය ද වාර්තා කර ගන්නට සමත් විය. එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ චමීර ක්‍රිෂාන්ත විසිනි.

Highlights – Navy SC v Super Sun SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

අනතුරුව තරගයේ 59 වන මිනිත්තුවේ දී ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ ක්‍රීඩක මොහොමඩ් රව්සාන් ගෝලයක් වාර්තා කර ගැනීමට ගත් උත්සාහය වළකාලන්නට සෝන්ඩර්ස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයා සමත් වූ නමුත් එහි දී පන්දුව ලබාගත් ජීන් ෆ්‍රෑන්කොස් පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කරමින් ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමට තරගයේ 3 වන ගෝලය ද හිමි කර දෙන්නට සමත් විය.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ දී සෝන්ඩර්ස් ක්‍රීඩකයින් පන්දුව ඔවුන් සතුව රඳවා ගන්නට අපොහොසත් වූ අතර අනෙක් පසින් සෝන්ඩර්ස් ක්‍රීඩකයින් දැඩි ආරක්‍ෂක ක්‍රීඩා විලාශයක් දියත් කරමින් පන්දුව ඔවුන් සතුව රඳවා ගන්නට ද සමත් විය. සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල රැස්කර ගැනීමට දැඩි උත්සාහයක් දියත් කළත් එය සාර්ථක වූයේ නැත. කණ්ඩායම් දෙකටම නිදහස් පහර අවස්ථාවන් ලැබුණත් ඒවා සාර්ථක කර ගන්නට ද ඔවුන් අසමත් විය.

Saunders v CrystalPalace – Dialog Champions League 2017 

සිය උපරිම උත්සාහය යටතේ ද තරගයේ දෙවන අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට සෝන්ඩර්ස් ක්‍රීඩකයින් අසමත් වූ අතර ඒ අනුව තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින් සමත් විය.

සම්පූර්ණ කාලය: ක්‍රිස්ටල් පැලස් FC 3 – 1 සෝන්ඩර්ස් SC

ThePapare.com තරගයේ වීරයා – චමීර ක්‍රිෂාන්ත

ගෝල ලාභීන්

  • සෝන්ඩර්ස් SC – ක්‍රිශාන්ත අබේසේකර 10’
  • ක්‍රිස්ටල් පැලස් FC – ෂමිල් හිල්මි 22’, චමීර ක්‍රිෂාන්ත 49’, ජීන් ෆ්‍රෑන්කොස් 59’

කහ කාඩ්පත්

  • සෝන්ඩර්ස් SC – ඉන්දීවර උදාර 32’, මොහොමඩ් ෆයසිල් 56’
  • ක්‍රිස්ටල් පැලස් FC – ජීන් ෆ්‍රෑන්කොස් 47’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට