23න් පහළ පළාත් තරගාවලියේ කොළඹට සහ මහනුවරට ජයග්‍රහණ

239

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ තුන්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති තරග අතරින් කොළඹ සහ මහනුවර කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ සී. සී. සී. පිටියේ දී ද, මහනුවර සහ ගාල්ල අතර තරගය කොළඹ එස්. එස්. සී. පිටියේ දී ද පැවැත්විය. මේ තරග අතරින් කොළඹ කණ්ඩායම දඹුල්ල කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 61ක ජයග්‍රහණයක් ද, මහනුවර කණ්ඩායම ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයක් ද වාර්තා කළේය.

ඔසඳ සහ සංගීත් ශතක රැස්කරද්දී චරිත්ගෙන් ආකර්ෂණීය ඉනිමක්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් …

කොළඹ සහ දඹුල්ල අතර තරගය

කාසියේ වාසිය දිනූ දඹුල්ල නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 379ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ දී අකීල් ඉන්හාම්, රිසිත් උපමාල්, හිමාෂ ලියනගේ සහ මාලින්ද අමරසිංහ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ හ. පන්දු යැවීමේ දී රන්ධීර රණසිංහ කඩුලු 4ක් ද අරවින්ද අකුරුගොඩ කඩුලු 2ක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයන්ට පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 158ක් පමණි. මෙම ඉනිමට එරෙහිව කෞමල් නානායක්කාර ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. ඊට අමතරව සවිඳු පීරිස් කඩුලු 3ක් ද, ෂෙහාන් සඳරුවන් කඩුලු 2ක් ද දවා ගත්හ.

ලකුණු 221ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට සිදු වූ දඹුල්ල ක්‍රීඩකයන්ට එවර රැස්කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 160ක් පමණි. එම ඉනිමේ දී කේශාන් වන්නිආරච්චි ලකුණු 45ක් ලබා ගනිමින් තම ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළේය.

පන්දු යැවීමේ දී කෞමල් නානායක්කාර ලකුණු 51කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඔහු පළමු ඉනිමේ දී ද පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ අතර තරගයේ දී ලකුණු 88කට කඩුලු 10ක් දවා ගත්තේ ය. ඔහුට අමතරව දෙවැනි ඉනිමේ දී ලක්ෂාන් ප්‍රනාන්දු ද ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

වයස අවුරුදු 23න් පහළ කොළඹ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 379 (98.5): අකීල් ඉල්හාම් 83, රිසිත් උපමාල් 68, හිමාෂ ලියනගේ 61, මාලින්ද අමරසිංහ 51, අයන සිරිවර්ධන 24, විශ්ව චතුරංග 22, රන්ධීර රණසිංහ 4/42, අරවින්ද අකුරුගොඩ 2/74

වයස අවුරදු 23න් පහළ දඹුල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (41.5): ගීත් පෙරේරා 31, දමිත් සිල්වා 23, ප්‍රවීන් දිල්නක 23, අසිත ගයාන් 22, කෞමල් නානායක්කාර 4/37, සවිඳු පීරිස් 3/36, ෂෙහාන් සඳරුවන් 2/30 සහ

වයස අවුරුදු 23න් පහළ දඹුල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 160 (78.4): කේශාන් වන්නිආරච්චි 45, ගීත් පෙරේරා 33, කෞමාල් නානායක්කාර 6/51, ලක්ෂාන් ප්‍රනාන්දු 3/37

ගාල්ල සහ මහනුවර අතර තරගය

කාසියේ වාසිය දිනූ ගාල්ල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 181ක් ලබා ගත්හ. රමින්ද විජේසූරිය එම ඉනිමට වැඩි දායකත්වයක් දක්වමින් ලකුණු 72ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ටිරෝන් සිවකුමාරන් ලකුණු 53කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඊට අමතරව තිසරු ඩිල්ශාන් සහ තරිඳු ලියනගේ කඩුලු 2 බැගින් දවා ගත්හ.

මහනුවර ක්‍රීඩකයෝ තම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 356ක් ලබා ගත්තේ මාධව නිමේෂ් විසින් රැස් කරන ලද ශතකයත් සමඟිනි. ඊට අමතරව ඩිලාන් ජයලත් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ හරීන් බුද්ධිල ලකුණු 86කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව සසිත් මනුරංග ද කඩුලු 3ක් දවා ගත්තේ ය.

ලකුණු 175ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 302ක් ලබා ගත්හ. එම ඉනිමේ දී නවිඳු නිර්මාල් ලකුණු 115ක් ලබා ගනිමින් ගාලු ඉනිම ආලෝකමත් කළේය. ඊට අමතරව තිලාන් ප්‍රශාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 90කි. පන්දු යැවීමේ දී නිමේෂ් මෙන්ඩිස් සහ ටිරෝන් සිවකුමාරන් කඩුලු 3 බැගින් දවා ගත්තේය.

සිව්වැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යව තිබුණේ ලකුණු 127ක් පමණි. ඔවුන් එම ලකුණු ප්‍රමාණය කරා යෑමේ දී කඩුලු 6ක් අහිමිකර ගත් අතර පන්දු යැවීමේ පන්දු වාර 33.3ක් වැයකර ගෙන තිබුණි.

මෙම තරගයේ දී ටිරෝන් සිවකුමාරන් ලකුණු 145කට කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

වයස අවුරුදු 23න් පහළ ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (55.3): රමින්ද විජේසූරිය 72, සසිත් මනුරංග 31, දිනුක ඩිල්ශාන් 27, ටිරෝන් සිවකුමාරන් 6/53, තිසරු ඩිල්ශාන් 2/13, තරිඳු ලියනගේ 2/27

වයස අවුරුදු 23න් පහළ මහනුවර කණ්ඩායම ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 356 (89.5): මාධව නිමේෂ් 137, ඩිලාන් ජයලත් 74, ක්‍රිශාන් සංජුල 38, තිසරු ඩිල්ශාන් 35, තනුක දාබරේ 35, හරීන් බුද්ධිල 4/86, සසිත් මනුරංග 3/53

වයස අවුරුදු 23න් පහළ ගාල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 302 (79.2): නවිඳු නිර්මාල් 115, තිලාන් ප්‍රශාන් 90, දිනුක ඩිල්ශාන් 28, රමින්ද විජේසූරිය 23, එම්. ඒ. හර්ෂජිත් 20, නිමේෂ් මෙන්ඩිස් 3/66, ටිරෝන් සිවකුමාරන් 3/92, ඩිලාන් ජයලත් 2/49, තරිඳු ලියනගේ 2/68

වයස අවුරුදු 23න් පහළ මහනුවර කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 131 (33.3): හසින්ත ජයසූරිය නොදැවී 76, තිලාන් ප්‍රශාන් 2/37, හරීන් බුද්ධිල 3/567

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<