බැඩ්මින්ටන් සංගමයට දාපු බැමි ලිහාගන්නට අමාත්‍යාංශයෙන් ලෝක සංගමයට ලිපියක්

137

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට අදාළව නිලවරණයක් පැවැත්වීමට තීරණය කර තිබියදී පෙර දැනුම් දීමකින් තොරව ලෝක බැඩ්මින්ටන් සම්මේලනය (ඕඑජ්) විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනම් කිරීමට ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සිය නොසතුට පළ කර සිටී.

ඒ අනුව එසේ තහනම් කිරීමට ගත් තීරණයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාවරය හා ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන තීරණ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ලෝක බැඩ්මින්ටන් සම්මේලනය වෙත ඊයේ දිනයේදී (28දා) ලිපියක් යැවූ බවත්, එයට පැහැදිලි පිළිතුරක් ඉදිරි සති දෙක තුන තුළ නොලැබුණහොත් ලෝක බැඩ්මින්ටන් සම්මේලනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කර ඇති බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා “මව්බිම”ට පැවැසීය.

ලෝක බැමින්ටන් සම්මේලනය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තහනම් කර තිබියදී මෙසේ නිලවරණයක් පැවැත්වීම අර්ථවත් කටයුත්තක්දැයි “මව්බිම” කළ විමසීමකදී ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා පැවැසුවේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ඉදිරි කටයුතු පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩා නීතිය අනුව අනිවාර්යයෙන්ම නිලවරණයකට යා යුතු බවයි.

“ශ්‍රී ලංකා ක්‍රීඩා නීතියේ ඇතැම් කරුණු සංශෝධනය (ඒථඥදඤථඥදබ) කළ යුතුයි කියලා ලෝක බැඩ්මින්ටන් සම්මේලනයෙන් අපට උපදෙස් දීලා තියෙනවා. ඒක කරන්න නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරි මණ්ඩලයක් ඉන්න ඕන. නිලධාරි මණ්ඩලයක් නොමැතිව ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කාටවත් බැහැ” යනුවෙන් පැවැසූ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා එම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය ලිපිලේඛන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අලුතින් පත්වූ විධායක මණ්ඩලයට භාරදුන් බවද කීය.

“අලුතින් පත්වූ කණ්ඩායම මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. එසේ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ලෝක බැඩ්මින්ටන් සම්මේලනයට යැව්වොත් තහනම ඉවත් වේවි” යනුවෙන්ද ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

කෙසේ වෙතත් ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ විධායක සභිකයකු ලෙස වර්තමානයේදී කටයුතු කරන එමෙන්ම අවසන් මොහොතේ නිලවරණයෙන් ඉවත් වූ මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා “මව්බිම”ට කියා සිටියේ ලෝක බැඩ්මින්ටන් සංගමයේ නීතිරීතිවලට පටහැනිව මෙවැනි නිලවරණයකට යෑම නුසුදුසු බවය.