ලහිරුගෙන් කඩුලු 10ක්; වෙස්ලි විද්‍යාලය නූලෙන් බේරෙයි

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

532

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (19) නිමා වුනා.

වෙස්ලි – සාන්ත ජෝසප් තරගය ජය පරාජයෙන් තොරව නිමා වෙද්දී, සාන්ත ඇලෝසියස් – ධර්මාශෝක තරගය කඩුලු 6කින් ජය ගැනීමට ධර්මාශෝක ක්‍රීඩකයින් සමත් වුනා.

වෙස්ලි විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති 105 වැනි වාර්ෂික දෙදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ආරම්භ වන විට, පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි වෙස්ලි ක්‍රීඩකයින් කඩුල්ලක් දැවී ලකුණු 45ක් ලබාගෙන සිටියා.

දකුණතින් පිට දඟපන්දු යවන ලහිරු අමරසේකර ලකුණු 30කට කඩුලු 6ක් ලබාගෙන වෙස්ලි පළමු ඉනිම ලකුණු 174කට සීමා කළ අතර සෙමිල ලියනගේ ලකුණු 35ක් ලබා ගත්තා.

ලකුණු 230ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව සිටි වෙස්ලි විද්‍යාලයට නැවත වතාවක් පිතිකරණයේ නිරත වීමට අවස්ථාව සාන්ත ජෝසප් විද්‍යාලය අවස්ථාව ලබා දුන්නා. එහි දී ද ඔවුන්ව අසරණ කරමින් ඔවුන්ගේ පළමු කඩුලු 8 ලකුණු 45ක් තුල දවා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුවත්, සෙමිල ලියනගේ නොදැවී ලකුණු 38*ක් ලබාගෙන ඔවුන්ගේ අවසන් කඩුලු දෙක රැකගෙන තරගය ජය පරාජයෙන් තොර නිමාවක් දක්වා රැගෙන ගියා.

17 හැවිරිදි අමරසේකර පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 4ක් ද සමඟ සමස්ත කඩුලු 10ක් බිඳ හෙලීමට සමත් වුනා.

Bryan Claessen – Arthur Hakel අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මේ තරගයේ කුසලානය තවදුරටත් තමන් සතුව රඳවා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනේ 2020 වසරේ පැවති තරගයේ ජයග්‍රහණය ඔවුන් සතුවූ නිසයි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 404/5d (79.5): සදීෂ් ජයවර්ධන 106, මුදිත ලක්ෂාන් 94, හිරාන් ජයසුන්දර 77, මිතිර තෙනුර 51*, ශෙවෝන් ඩැනියල් 49, ශකේෂ් මිනොන් 4/89.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 174 (74.3): සෙමිල ලියනගේ 35, චමත් ගෝමෙල් 49, ලහිරු අමරසේකර 6/30

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම (F/O) – 78/8 (44): සෙමිල ලියනගේ 38*, ලහිරු අමරසේකර 4/14,ශෙවෝන් ඩැනියල් 2/18.

එක්දින තරගාවලිය

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර පැවති Tier B කොටසේ තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකර ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වුනා.

පළමුව පන්දුවට පහර දුන් සාන්ත ඇලෝසියස් ක්‍රීඩක දුමිඳු නවීන් සහ දුලිම දසුන් පිළිවෙළින් ලකුණු 53*ක් සහ ලකුණු 41ක් ලබාගෙන පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 235ක ලකුණක් වෙත සිය කණ්ඩායම රැගෙන ගියා.

ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් හසිත රාජපක්ෂ ලබා ගත් ලකුණු 89* සහ මනීෂ රශ්මික ලබා ගත් ලකුණු 51* නිසාවෙන් මෙවර එක්දින තරගාවලිය තුල ලබා ගත් පළමු ජයග්‍රහණය ලබා ගැනීමට ධර්මාශෝක ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා. කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූ ධර්මාශෝක ක්‍රීඩක හසිත රාජපක්ෂ ලබා ගත් ලකුණු 89*ට අමතරව ලකුණු 36කට කඩුලු 3ක් ද දවා ගත්තා.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 235 (50) – දුමිඳු නවීන් 53*, දුලිම දසුන් 41, භාෂණ ද සිල්වා 38, විදුර ලක්ෂාන් 25, ආධිත්‍ය යාපා 21*, හසිත රාජපක්ෂ 3/36, සෙනුර සඳරු 2/35

ධර්මාශෝක විද්‍යාලය – 238/4 (35.2): හසිත රාජපක්ෂ 89*, මනීෂ රශ්මික 51*, සසිඳු මල්ෂාන් 27, චානුක ජයසිරි 23, දුමිඳු නවීන් 3/40.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<