20-20 නායකත්වය තිසරට; කණ්ඩායමේ වෙනස්කම් රැසක්

3894

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එළඹෙන 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත විස්සයි – විස්ස ක්‍රිකට් තරගය වෙනුවෙන් තරග වදින ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම අද (22) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් වූ අතර එයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලැබී ඇත්තේ තිසර පෙරේරා හටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ දීවත් වෙනසක් කරයි ද?

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයගන්නට සංචාරක එංගලන්ත කණ්ඩායම පසුගිය….

පසුගිය වසරේ දී පාකිස්තානය සමඟ පැවැත්වූ විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ දී තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ නමුත් ඉන්පසුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් හා එක්දින කණ්ඩායමේ නායකත්වය නැවතත් ඇන්ජලෝ මැතිව්ස් වෙත ලබා දුන්නේය.

ඉන් අනතුරුව මැතිව්ස් පසුගිය දා නිමා වූ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද අසාර්ථකත්වය නිසාවෙන් නැවත වතාවක් මැතිව්ස්ව ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් කරන ලදි.

වයස අවුරුදු 20ක් වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී සිසුවෙක් වන මැදපෙළ පිතිකරුවෙක් මෙන්ම දෑතින්ම පන්දු යැවීමට හැකි ක්‍රීඩක කමිඳු මෙනිඩ්ස් පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයකට කැඳවා ඇත.

2016 වසරේ දී බංග්ලාදේශයේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දෑතින්ම පන්දු යැවූ කමිඳු පිළිබඳව ලෝකයාගේම අවධානය යොමු විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද හොබවා තිබෙන කමිඳු මෙන්ඩිස් නවසීලන්තයේ පැවති ලෝක කුසලාන තරුණ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වනු ලැබීය. වාර්ෂිකව පවත්වනු ලබන Dialog 4G – Sunday Times සම්මාන ප්‍රදානෝත්සවයේ දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පසුගිය ජුනි මාසයේ දී ඔහු පිදුම් ලැබීය.

මේ වන විට පැවැත්වෙමින් තිබෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගයේ දී කලව ආශ්‍රිතව ආබාධයකට ලක්වූ වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන  කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ඇතුලත් කර ඇත.

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය – තිසර පෙරේරා (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, ඉසුරු උදාන, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, අකිල දනංජය, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්.

අතිරේක ක්‍රීඩකයින් – අමිල අපොන්සු, සදීර සමරවික්‍රම, ශෙහාන් ජයසූරිය, ශෙහාන් මදුසංක

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<