ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දෙඅතින්ම දඟපන්දු යැවීමේ නිපුණතාවයකින් හෙබි සහ වමතින් පිත්ත හසුරුවන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කමිඳු මෙන්ඩිස්ට ය.

වමත් දඩයක්කාරයාගේ කඩුලු සංග්‍රාමය

වමත් දඟපන්දුවෙන් කඩුලු දඩයම් කරන රංගන හේරත් පාකිස්තානය සමඟ නිමා වූ දෙරට අතර පැවති පළමු ..

පාසල් ක්‍රීඩකයන් අතර එකල “දෙඅතා” ලෙසත් මේ වෙද්දී “මෙන්ඩා” නමිනුත් හැඳින්වෙන කමිඳු, පාසල් ක්‍රිකට් පිටියේ සටන්කාමී ක්‍රීඩකයෙකි. ඕනෑම තරගයක් තමන්ගේ කර ගනිමින් ජයග්‍රහණයම කරා යෑම කමිඳුගේ අධිෂ්ඨානයයි. මේ නිසාම කමිඳුට කුඩා කල සිටම ක්‍රිකට් පිටියේ ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි.

“පුතා ශිෂ්‍යත්වෙ ලියන්නත් කලින් ඉඳලම ක්‍රිකට් ගහන්න යන්න ඕන කියල හරියට ගෙදරට බල කළා. ඒ වෙද්දි එයා සැහැල්ලු පන්දු ක්‍රිකට් ගහනවා. පුංචි කාලෙ ඉඳලම එයා ක්‍රිකට්වලට දක්ෂතා දක්වනවා කියල මගේ ක්‍රිකට් දැනුම කිව්වා. මගේ කැමැත්ත තිබුණත් අම්මගෙ තීරණය වුනේ ශිෂ්‍යත්වයෙන් පස්සෙ ක්‍රිකට් ගහන්න යොමු කරන්න කියන එකයි. ඒ නිසා එයා ශිෂ්‍යත්වය වෙනකම් ඉතාම අමාරුවෙන් එයාගෙ ආසාව යටපත් කරගෙන හිටියා. කොච්චර සෙල්ලම් කළත් පුතා අධ්‍යාපන කටයුතු අතපසු කළේ නැහැ. පුතා ශිෂ්‍යත්වයත් පාස් වෙලාම තමයි ක්‍රිකට් පුහුණුවීම්වලට ගියේ.” කමිඳුගේ පියා පර්සි මෙන්ඩිස්   ThePapare.Com සමඟ එක් වෙමින් කමිඳුගේ ක්‍රිකට් ආරම්භය සම්බන්ධයෙන් සඳහන් කළේ ය.

කමිඳුට කුඩා කල සිටම දෙඅතම හුරු ය. නමුත් වැඩි වශයෙන්ම භාවිතා කර ඇත්තේ දකුණත ය. කොටින්ම පිතිකරණය කර ඇත්තේ දකුණතිනි. එහෙත් හිටි අඩියේම තමන්ගේ හුරු අත අමතකව වමතින් ද පිතිකරණයේ යෙදුණ අවස්ථා කුඩා කාලයේ තිබී ඇත. ක්‍රිකට් තරග නරඹන්නෙක් ලෙස කමිඳුගේ පියාගේ මතය වී තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් දක්ෂයන් වන්නේ වමත් ක්‍රීඩකයන් බැව් ය. එබැවින් ඔහු තම ලොකු පුතා වමත් ක්‍රීඩකයෙක් කරන්නේ ය.

Video courtesy: Cric Cric

“පුතා මුලින්ම ගියේ ධනුෂ්ක දෙනගම සර්ගෙ ක්‍රිකට් ඇකඩමියට. ඒ සමඟම පාසලේ ප්‍රැක්ටිස්වලටත් සහභාගී වුනා. ඒ වෙනකොට රිච්මන්ඩ් වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ පුහුණුකරු වුනේ නිල් කමල් සර්. ඒ අවුරුද්දෙම පුතා රිච්මන්ඩ් 13න් පහළ ඒ කණ්ඩායමේ පළමු 20 දෙනාට තේරුණා. ඔහුගේ මුල්ම නායකයා වුනේ සිතාර ගිම්හාන්.” පර්සි මෙන්ඩිස් මහතා නැවත අතීතය ආවර්ජනය කරන්නේ ය.

අනතුරුව කමිඳු තවත් වසර දෙකක් වයස අවුරුදු 13න් පහළ පාසල් කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ ය. 13න් පහළ අවසන් වසරේ දී නායකත්වය හිමි වන්නේ කමිඳුට ය. එම වසරේ දී එම වයස් කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වන්නේ කමිඳුගේ නායකත්වයෙන් යුත් රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමයි.

ඉන් අනතුරුව ගත වෙන වයස අවුරුදු 15න් පහළ තරග වාරයන්වල දී කමිඳුගේ දක්ෂතා පාසලට පමණක් නොව ශ්‍රී ලංකාවට ද ඈදෙන්නේ ය. 2013 වසරේ මැලේසියාවේ පැවති වයස අවුරුදු 15න් පහළ ආරාධිත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් කමිඳුට ද හිමි වන්නේ ය.

“කමිඳු මෙන්ඩිස් මට හමුවෙන්නේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ සිට. ඔහු මට හමුවන විටත් ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම ලොකු උනන්දුවකින් සෑම අවස්ථාවකම කටයුතු කළා. ක්‍රීඩාව ප්‍රගුණ කරන්න ලොකු කැපවීමකින් කටයුතු කළා.” ධම්මික සුදර්ශන පැවැසුවේ ය.

ධම්මික යනු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ය. එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක් වන ධම්මික මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් දායාද කර ඇති අති දක්ෂ පුහුණුකරුවෙකි.

කමිඳුගේ දක්ෂතා රිච්මන්ඩ් විද්‍යාලයට වඩාත් උචිත සේ හැඩ ගැසෙන්නේ ධම්මික අතිනි. ධම්මික කුඩා අවදියේ දී ම ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේ ය. ඒ අනුව වයස අවුරුදු 15න් පහළ දෙවැනි වසරේ සිට කමිඳු රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ද ක්‍රීඩා කිරීමට ද සුදුසුකම් ලබන්නේ ය. මේ දක්වා ඔහු ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරග 4කට ක්‍රීඩා කර ඇත.

“මැලේසියා සංචාරයෙන් පසු කමිඳුට ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම් නියෝජනය කිරීමට අවස්ථා කිහිපයක්ම හිමි වුනා. ඔහු ඒ හැම අවස්ථාවකම ඉතාම හොඳින් ඒ තරග සංචාර නිමා කළා. මේ තරග සඳහා සූදානම් කිරීමේ දී පුහුණුකරු ධම්මික සුදර්ශන සහ සහාය පුහුණුකරු ප්‍රේම් ලක්මාල් ද සිල්වා යන මහත්වරුන් දැක් වූ සහයෝගය ඉතා විශාලයි. මම විශ්වාස කරනවා කමිඳුගේ ක්‍රිකට් හදා වඩා ගත්තේ මේ අය. ඒ වගේම හිටපු විද්‍යාලයීය විදුහල්පති එම්. එස්. ඒකානයක මහතා සහ වර්තමාන විදුහල්පති සම්පත් වේරගොඩ මහතා දැක්වූ දායකත්වයත් සුවිශේෂයි. ක්‍රිකට් භාර අචාර්යවරුන් සේ කටයුතු කළ හර්ෂ ප්‍රසන්න, චමිල තරංග සහ දමිත් ප්‍රසන්න යන මහත්වරුන් ද මේ අවස්ථාවේ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා කමිඳුගේ ක්‍රිකට් ජීවිතය ආලෝකමත් කිරීමට දායකත්වය දැක්වූවාට.” පර්සි මෙන්ඩිස් මහතා නැවත පැවැසුවේ ය.

කමිඳු තවත් ශතකයකට; ලුම්බිණි විද්‍යාලයට සුපිරි ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ තරඟ..

කමිඳු ක්‍රිකට් පිටියේ දී සටන්කාමියෙක් වූව ද සාමාන්‍ය ජීවිතයේ දී නිහඬ පුද්ගලයෙක් ලෙසයි සැලකෙනුයේ. ක්‍රිකට් තරග හෝ පුහුණුවීම් නොමැති අවස්ථාවල දී ඔහු අක්කාගේත් මල්ලීගේත් සෙවණේ රැඳී සිටීමට වඩාත් රුචි බවකි පැවසුණේ. නමුත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෙදෙන අක්කාත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මල්ලීත් හමුවීම බොහෝ කලාතුරකින් සිදුවන්නකි. කමිඳුගේ මල්ලී සඳුන් මෙන්ඩිස් ද මේ වෙද්දී රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙකි.

දැන් දැන් කමිඳුට ද ඔවුන්ගේ සමාගම දුරස්ව ඇත. ඒ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය හිමිවීමත් සමඟ සහ පාසල් කණ්ඩායමේ තරග සේ ම පුහුණුවත් යන සියල්ලත් සමඟ ඉතා කාර්ය බහුල වීම හේතුවෙනි. එසේ වූව ද කමිඳු තමන්ගේ අධ්‍යාපන කටයුතු ද කිසිදු අඩු පාඩුවක් නොතබා කරගෙන යෑමට වග බලාගෙන තිබේ.

“කමිඳුට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ආශිර්වාදයක්. මොකද ඔහු පාසල් කණ්ඩායම්වල නායකයෙක් ලෙස ඔහුගේ වගකීම් ඉටුකර තිබෙනවා. ඒ නිසා ඔහුට මේ ලැබුණ අභියෝගය ඉතාම කැමැත්තෙන් බාරගත් එකක් කියලයි මට හිතෙන්නේ. ඔහු ගැන විශ්වාසය තැබූ සෑම කෙනාටම ඔහු සාධාරණත්වයක් ඉටු කරයි කියල මට හිතෙනවා.” කමිඳුට නායකත්වය හිමි වීම ගැන පියා පර්සි මෙන්ඩිස් මහතාගේ අදහස එපරිදි ය.

අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් රිච්මන්ඩ් දෙවැනියා වන්නේ කමිඳු මෙන්ඩිස් ය. මීට ප්‍රථම 2014 වසරේ දි චරිත් අසලංක එහි වගකීම දැරුවේ ය. ඔහු අද බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ නියුතු ශ්‍රී ලංකා A කණ්ඩායමේ උප නායකයා ය. චරිත්ගේ සේ ම කමිඳුගේ ද පාසල් පුහුණුකරු වන්නේ ධම්මික සුදර්ශන ය.

“ඇත්තටම පොඩි කාලෙ ඉඳලම කණ්ඩායමක් හැසිරවීමේ හැකියාවෙන් කමිඳු කටයුතු කළා. ඕනෑම ක්‍රීඩකයෙක් සමඟ ඉතාම හොඳින් ක්‍රීඩාංගණයේ දී ගනු දෙනු කරන්න කමිඳුට තියෙන්නෙ පුදුම හැකියාවක්. මම හිතන්නේ මේ දක්ෂතාව කමිඳු සහජයෙන්ම ගෙනා දේවල්. පාසලේ වයස්  කාණ්ඩ රැසක නායකත්වයේ සිටිමින් ඔහු දැක්වූ දක්ෂතාව ශ්‍රී ලංකා කණ්ඩායමටත් රැගෙන ඒවි.” කමිඳු නායකත්වයෙන් පිදුම් ලැබීම සම්බන්ධයෙන් ධම්මික පැවසුවේ එවැන්නකි.

ධම්මික සුදර්ශනගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතුරින් ප්‍රමුඛතාව හිමිවෙන්නේ මේ දෙදෙනාට ය. ඒ ඔවුන් නායකත්වයෙන් පිදුම් ලැබීම හේතුවෙනි. එසේ ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ කතා බහට ලක්ව සිටින වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, ඒ. කේ. ටිරෝන්, සවීන් නානායක්කාර, පබසර වඩුගේ, යසෝද ලංකා, තිලාන් උදේශන සහ මෙවර කණ්ඩායමට එක්ව සිටින ධනංජය ලක්ෂාන් ද ධම්මිකගේ ගුරු හුරුකමෙන් ක්‍රිකට් කරලියේ දක්ෂතා දක්වන්නෝ ය.

“ පාසල් කණ්ඩායම් අතර රිච්මන්ඩ් කණ්ඩායමට ලැබී තිබෙන්නේ ප්‍රබල තැනක්. අපි අපේ කණ්ඩායම මෙහෙයවන්නේ ජයග්‍රහණය බලාගෙන. සාමාන්‍ය තරගයක්, ටූනමන්ට් තරගයක් වගේම බිග්මැච් එකකදීත් අපි අපේ සැලසුම් හදන්නෙ ජයග්‍රහණ බලාපොරොත්තුවෙන්. ඉතිං එහෙම ටාගට් එකකට යන්න නම් අපිට ශ්‍රී ලංකා ලෙවල් එකේ ක්‍රීඩකයෝ බිහිකරන්න වෙනවා. අපි ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා. දැනට වයස අවුරුදු 19න් පහළ ලෙවල් එකේ ජාත්‍යන්තර තරගවල දී ද්විත්ව ශතක රැස් කරපු ක්‍රීඩකයෝ ඉන්නේ දෙන්නයි. ඒ චරිත් අසලංක සහ යසෝද ලංකා පමණයි. ඔවුන් දෙදෙනාම අපේ පාසල නියෝජනය කළ ක්‍රීඩකයෝ. මට විශ්වාසයක් තියෙනවා මේ ගොඩට කමිඳු මෙන්ඩිස් එයි කියලා. ඔහු ඒ තරමට ම විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයෙක්.” ධම්මික සුදර්ශන පැවසුවේ ය.

ධම්මිකගේ විශ්වාසය මේ වෙද්දී අප තුළ ද විශ්වාසයක් බවට පත් කර තිබේ. ඒ මේ වසරේ මෙතෙක් කමිඳු ක්‍රීඩා කළ පාසල් ක්‍රිකට් තරග දෙකේ දී ම ශතක රැස් කළ බැවිනි. වෙන්නප්පුව සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ලකුණු 133ක් ද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 158ක් ඔහු විසින් රැස් කරගෙන තිබේ. එකී විශ්වාසය එළඹෙන යොවුන් ආසියානු ක්‍රිකට් තරගාවලියේ දී කමිඳු මෙන්ඩිස් වෙතින් දැක බලා ගැනීම අපගේ ද බලාපොරොත්තුවයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<