ඇෆ්ගනිස්ථානය අවසන් 4ට යද්දී ශ්‍රී ලංකාව නවයට තරග වදියි

1517

සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නවසීලන්තයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වැනි ස්ථානය සඳහා තරග වැදීමේ අවස්ථාව උදා කර ගත්හ.

[rev_slider LOLC]

ලින්කොන්හි පැවති මෙම තරගයේ දී ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා දුන් ලකුණු 260ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පන්දු 27ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිය දී සපුරා ගන්නා ලද්දේ කඩුලු 5ක් පමණක් ප‍්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

බෝයගොඩගේ වාර්තාවත් සමඟින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පලිහ ශූරතාව සඳහා වන අර්ධ අවසාන..

අදාළ හඹා යෑමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4ම ලකුණු 65ක දී බිඳ දැමීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්වුවද, වගකීම කරට ගත් කඩුලු රකින ක්‍රීඩක නිශාන් මධුෂ්ක, ශ්‍රී ලංකා කණ්ඩායම ජය කණුව කරා රැගෙන යෑමට සමත් විය. පන්දු 135කට මුහුණ දුන් මධුෂ්ක ලකුණු 109ක් රැස් කළේ ඔහු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක රැස් කරන ලද මංගල ශතකයට හිමිකම් කියමිනි. හතරේ පහර 09ක් පමණක් ඇතුළත් වුන මධුෂ්කගේ සුවිශේෂී ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම නොබිඳී පැවතීම ද විශේෂත්වයකි. මධුෂ්කගේ එම දක්ෂතාවය නිසාවෙන් ඔහු  තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස වෙස්ලි මදේවර් පළමු පන්දුවාරයේ දී ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට තිසරු රශ්මික සමත් වුවද, දෙවැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් පැවැත්වීමට ඩොනල්ඩ් මැම්බෝ සහ අලෙස්ටෙයාර් ෆ්‍රොස්ට් සමත් විය. සිම්බාබ්වේ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඇලෙස්ටෙයාර් ෆ්‍රොස්ට් ධනංජය ලක්ෂාන්ගේ පන්දුවකට දැවී ගිය අතර අනතුරුව නැවතත් ජේඩ්න් ස්චැන්ඩනඩ්‍රොෆ් සමඟ එකතු වූ මැම්බෝ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සම්බන්ධතාවක් පිහිටුවීය.

සිම්බාබ්වේ ලකුණු පුවරුව ලකුණු 135ක් සටහන් වද්දී එම සබඳතාව බිඳ දැමීමට හරීන් බුද්ධිල සමත්වද්දී, ලකුණු පුවරුව 206ක් වන විට සිව්වැනි කඩුල්ල ලෙස ජේඩ්න් ස්චැන්ඩනඩ්‍රොෆ් දවා ගැනීමට තිසරු රශ්මික සමත් වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමිනි.

තරගයේ 44 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ලකුණු 206කට කඩුලු 4ක් ලෙස සටහන් වූ සිම්බාබ්වේ ලකුණු පුවරුව පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 4කට ලකුණු 259ක් දක්වා ඉහළ ගෙන යන්නට මැදපෙළ පිතිකරුවන් වූ මිල්ටන් ශුම්බා සහ නායක ලයම් රොචේ සමත් වූහ. සිම්බාබ්වේ ඉනිමේ තෙවැනි අර්ධ ශතක ලාභියා බවට පත්වූ මිල්ටන් ශුම්බා නොදැවී ලකුණු 62ක් රැස්කර ගැනීමට සමත් විය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ධනංජය ලක්ෂාන් සහ කෙන්යාවට එරෙහි තරගයේ දී ලෝක වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුවක් බවට පත්ව සිටි හසිත බෝයගොඩ දෙදෙනාම දෙවැනි පන්දුවාරය වන විට නරඹන්නන් බවට පත් කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වූහ.

අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූ සිම්බාබ්වේ පන්දු යවන්නෝ 06 වැනි පන්දුවාරය වන විට ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ද දවා ගැනීමට සමත් වූයේ ජෙහාන් ඩැනියෙල්ව ද ලකුණු 06කට ක‍්‍රීඩාගාරයට හරවා යවමිනි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 31ක් ලෙස සටහන් වූ අතර ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් ඈතට යන පසුබිමක් ද නිර්මාණය වී තිබුණි.

බංග්ලාදේශයට පැරදුනත් ලංකාව ෆයිනල් එන්නේ මෙහෙමයි

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ..

ශ්‍රී ලංකා ඉනිමට යම් බලාපොරොත්තුවක් එක් කරමින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 34ක සම්බන්ධතාවක් පිහිටුවීමට නිශාන් මධුෂ්කට එක්වූ නායක කමිඳු මෙන්ඩිස් සමත්වුවද මුලු ලකුණු සංඛ්‍යාව 65ක්ව තිබිය දී සිව්වැනි කඩුල්ල ලෙසින් කමිඳු මෙන්ඩිස් ද දැවී යෑම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය.

එහෙත් අනතුරුව මධුෂ්කට එක්වූ නිවනිඳු ප්‍රනාන්දු පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 143ක සම්බන්ධතාවක් පිහිටුවමින් ජයග්‍රහණය සඳහා අත්‍යාවශ්‍යම වූ සාර්ථක සම්බන්ධතාවකට අඩිතාලම දැමූහ. නිවනිඳු ලකුණු 68කට දැවී ගිය ද මධුෂ්ක සමඟ එකතු වූ අශේන් බණ්ඩාර පන්දු 26ක දී වේගවත් ලකුණු 38ක් ලබා ගනිමින් සිම්බාබ්වේ බලාපොරොත්තු බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මධුෂ්කට අනගි සහයක් ලබා දුන් නුවනිඳුගේ වටිනා ලකුණු 68ක ඉනිම සඳහා ඔහු පන්දු 79කට මුහුණ දුන් අතර හතරේ පහර 8කින් ද ඉනිම වර්ණවත් කරගත්තේය.

තරගාවලියේ පළමු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ජය ගත්ත ද, මූලික වටයේ අනෙක් තරග වූ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් අවසන් කණ්ඩායම් 8 අතරට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය. ඒ අනුව 09 වැනි ස්ථානය වෙනුවෙන් වූ පළමු තරගයේ දී කෙන්යානු කණ්ඩායමට එරෙහිව වාර්තාගත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

මේ අතර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 202ක දැවැන්ත ජයක් ලබමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්තානය කණ්ඩායම සමත් වීම මෙවර තරගාවලියේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය.

“හූ හූ!” “ඉන්දියාව හූ හූ!”

“ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම” ශ්‍රී ලාංකික අපගේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම නම් නොවේ…

බ්‍රහස්පතින්දා (25) පැවති අනෙක් අවසන් පූර්ව තරගයෙන් දකුණු අප‍්‍රිකාව පැරද වූ පාකිස්තානු කණ්ඩායම ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර බංග්ලාදේශය සහ ඉන්දියාව තරග වදින අවසන් පූර්ව තරගය සිකුරාදා (26) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට ආසියානු කණ්ඩායම් 3ක් ඇතුළත්වීම විශේෂත්වයක් විය.

මේ අතර එංගලන්තය පරදවමින් අවසන් පූර්ව තරග අවස්ථාව උදාකරගත් අනෙක් කණ්ඩායම බවට පත්වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ 09 වැනි ස්ථානය සඳහා වන තරගයට ලබන ඉරිදා මුහුණ දෙන අතර සිකුරාදා (26) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම අතර තරගයේ ජයග්‍රාහකයින් ශ්‍රී ලංකාවේ ප‍්‍රතිවාදීන් බවට පත්වනු ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4ට ලකුණු 259 (50) – ජේඩ්න් ස්චැන්ඩනඩ්‍රොෆ් 74, ඩොනල්ඩ් මැම්බෝ 52, මිල්ටන් ශුම්බා 62*, ලියම් රොකී 26*, ඇලෙස්ටෙයාර් ෆ්‍රොස්ට් 28, තිසරු රශ්මික 58/2

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට ලකුණු 260 (45.3) – නිශාන් මධුෂ්ක 109*, නිවනිඳු ප‍්‍රනාන්දු 68, අශේන් බණ්ඩාර 38*, කමිඳු මෙන්ඩිස් 17, න්කොසිලති නුන්ගු 49/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<