බෝයගොඩගේ වාර්තාවත් සමඟින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට

4189

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පලිහ ශූරතාව සඳහා වන අර්ධ අවසාන පූර්ව තරගයෙන් කෙන්යාව පරදා ලකුණු 311ක දැවැන්ත ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් විය.

[rev_slider LOLC]

තරගය නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පලිහ අවසන් පූර්ව වටය දක්වා යාමට වරම් හිමිකර ගන්නා ලදි.

ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර පැවති මූලික වටයේ තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවුව ද, ක්‍රිකට් බලධාරීන්ගේ එම රළු තීරණය අභියෝගයට ලක් කරමින් මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කළ හසිත බෝයගොඩ පන්දු 152ක් තුල දී ලකුණු 191ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ටැඹ කරා මෙහෙයවන්නට සමත් විය. ඔහුගේ දැවැන්ත ලකුණු 191ට හතරේ පහර 28ක් හා හයේ පහර 2ක් අන්තර්ගත විය.

කුසල් ජනිත් පෙරේරා තුන්කොන් තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සුළු ආබාධයකට ලක්වීම හේතුවෙන්..

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර හසිත බෝයගොඩ හා ධනංජය ලක්ෂාන් ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණ ලකුණු 87ක් රැස්කර ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් අඩිතාලමක් දැමීමට සමත් විය. ධනංජයගේ නික්ම යාමෙන් පසු පිටියට පිවිසි කඩුලු රකින පිතිකරු නිශාන් මදුෂ්ක සමඟ එක්වූ හසිත බෝයගොඩ දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 147ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගීමට සමත් විය.

වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කළ නිශාන් මදුෂ්ක පන්දු 58ක දී ලකුණු 60ක් වාර්තා කර ගත් අතර හසිත බෝයගොඩට අවස්ථාව දෙමින් සිය අන්තය ආරක්ෂා කර ගත්  අංක හතර පිතිකරු ජෙහාන් ඩැනියෙල් පන්දු 37ක දී ලකුණු 24ක් ලබා ගැනීමට සමත් විය.

කෙන්යා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් පිට ඉන්න දෙසින් වැටෙන පන්දුවලට ඉවක් බවක් නොමැතිව ප්‍රබල ලෙස පහර එල්ල කළ හසිත බෝයගොඩ, නවසිලන්ත පිතිකරු ජේකබ් බුලා (Jacob bhula) මීට දින හයකට ප්‍රථම කෙන්යානු කණ්ඩායමට ම එරෙහිව තැබූ වයස අවුරුදු 19න් පහළ එක්දින ජාත්‍යන්තර තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පහසුවෙන් බිඳ හෙළීමට සමත් විය.

45 වැනි පන්දුවාරයේ දී හසිත බෝයගොඩ දැවී ගිය නමුත් නායක කමිඳු මෙන්ඩිස් සමඟ පිටියේ එක්වූ නුවනිඳු ප්‍රනාන්දු  පිළිවෙළින්  ලකුණු 53ක් හා ලකුණු 35ක් බැගින් වාර්තා කරමින් 339ක්ව තිබූ ලකුණු පුවරුව පන්දුවාර පහක් තුල දී ලකුණු 419/4ක් දක්වා ඉහළ දැමීමට සමත් විය. වයස අවුරුදු 19න් පහළ එක්දින ජාත්‍යන්තර තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ වැඩිම ලකුණු ගණනත්, වයස අවුරුදු 19න් පහළ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ හතර වැනි වැඩිම ලකුණු ගණනත් ලෙස මෙම ලකුණු 419 වාර්තා පොත් අතරට එක්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්යානු කණ්ඩායම ලකුණු 108කට සියල්ලන්ම දැවී ගිය අතර පළමු වටයේ කිසිදු තරගයක් ක්‍රීඩා නොකළ සාන්ත ඇලෝසියස් විදුහලේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක හරීන් බුද්ධිල පන්දුවාර 10ම ක්‍රියාත්මක කරමින් ලකුණු 27කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය.

වේගපන්දු යවන ක්‍රීඩක නිපුන් මාලිංග කඩුලු දෙකක් ලබා ගත් අතර අනෙක් පන්දු යවන්නෝ එක කඩුල්ල බැගින් ලබාගෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ජාත්‍යන්තර තරගයක දෙවැනි විශාලම ජයග්‍රහණයේ වාර්තාව තමන් සතු කර ගැනීම සඳහා සිය දායකත්වය ලබා දුන්හ.

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පලිහ කුසලානය සඳහා වන පළමු අවසාන පූර්ව තරගයට ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම ලබන 25 වැනිදා (බ්‍රහස්පතින්දා) තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: 419/4  – හසිත බෝයගොඩ 191, ධනංජය ලක්ෂාන් 29, නිශාන් මදුෂ්ක 60, ජෙහාන් ඩැනියෙල් 37, කමිඳු මෙන්ඩිස් 53*, නුවනිඳු ප්‍රනාන්දු 35*, අභිෂේක් චිදම්බරන් 2/68.        

කෙන්යා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම : 108/10 (35.5) – තෝමස් ඔචියන්ග් 45, හරීන් බුද්ධිල 4/27, නිපුන් මාලිංග 2/14

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<