අපරාජිත සාන්ත පීතර විද්‍යාලය නොකඩවා දෙවැනි වරටත් ශූරයින් වෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

220

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් මහා තරගය අද (4) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

ඒ අනුව අපරාජිතව අවසන් මහා තරගය දක්වා පැමිණි සාන්ත පීතර විද්‍යාලය මේ තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කරමින් නොකඩවා දෙවැනි වරටත් Tier B කොටසේ ශූරතාවය දිනා ගනිද්දී, නොකඩවා දෙවැනි වරටත් එහි අනුශූරතාවයෙන් සෑහීමකට පත්වෙන්නට තර්ස්ටන් විද්‍යාලයට සිදු වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම:

  • සාන්ත පීතර විද්‍යාලය – නිමුතු ගුණවර්ධන (නායක), ඔවීන් සල්ගාදු, විශේන් හැලඹගේ, රුසඳ ගමගේ, සන්ශේ ගුණතිලක, කවික ජයසුන්දර, නිතේෂ් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ශනොන් රොද්‍රිගෝ, ලක්ශ්මික පෙරේරා, ලකිඳු සචින්, ෂේන් රොබර්ට්ස්.
  • තර්ස්ටන් විද්‍යාලය – ශානික්‍ය දේශප්‍රිය (නායක සහ කඩුලු රකින්නා), නවිඳු දුලාන්, රශ්මික සොනාල්, උෂාන් ඉමේෂ්, තේනුක දේවප්‍රිය, විහස් තෙව්මික, කාවින්ද ප්‍රභාත්, තනුග පලිහවඩන, අසීම් මොහොමඩ්, නවිඳු ප්‍රනාන්දු, දුවිඳු නිශාන්.

සාන්ත පීතර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව තරගයේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අවසන් පූර්ව තරගයේ දී ගාල්ල මහින්ද විද්‍යාලය පරාජයට පත් කරමින් අවසන් මහා තරගය දක්වා පැමිණියා. එසේම තර්ස්ටන් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව තරගයේ දී සහ අවසන් පූර්ව තරගයේ දී පිළිවෙළින් ඉසිපතන විද්‍යාලය සහ වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පරාජය කරමින් මේ අවසන් තරගයට පැමිණියා.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර තර්ස්ටන් පිතිකරුවන් හට ආරම්භයේ පටන් වැඩි පීඩනයක් එල්ල කිරීමට සාන්ත පීතර පන්දු යවන්නන් සමත් වුනා.

නවිඳු සහ රශ්මික එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත්, ඔවුන්ගේ අවසන් කඩුලු 9 ලකුණු 80ක් තුල දවා ගන්නට දකුණතින් පා දඟපන්දු යවන විශේන් (කඩුලු 4) සහ දකුණතින් පිට දඟපන්දු යවන ලක්ශ්මික (කඩුලු 3) ඇතුළු සාන්ත පීතර පන්දු යවන්නන්ට හැකි වුනා.

අංක 4 පිතිකරු ලෙස ක්‍රීඩා කළ තේනුක තර්ස්ටන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 50ක දී ලකුණු 27ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර ඔහුගේ ඉනිමට 4 පහර 2ක් ඇතු​ළත් වුනා. රශ්මික ලකුණු 20යි.

ලකුණු 115ක පහසු ඉලක්කයක් හඹා ගිය සාන්ත පීතර විද්‍යාලය පන්දුවාර 21කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරු සල්ගාදු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 39ක් ලබා ගන්නා විට, පන්දුවෙන් කඩුලු 4ක දස්කමක් දැක්වූ විශේන් ලකුණු 25ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

පන්දුවාර 8කුත් පන්දු 2ක් අවසානයේ සාන්ත පීතර විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 57ක් ලබාගෙන සිටි අතර අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි නායක නිමුතු 6 පහර 3ක් එල්ල කරමින් නොදැවී ලකුණු 31*ක් ලබාගෙන සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. පන්දු යැවීමේ දී තනුග ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.

  • තර්ස්ටන් විද්‍යාලය – 114 (41.2): තේනුක දේවප්‍රිය 27, රශ්මික සොනාල් 20, විශේන් හැලඹගේ 4/33, ලක්ශ්මික පෙරේරා 3/19.
  • සාන්ත පීතර විද්‍යාලය – 115/4 (21.3): ඔවීන් සල්ගාදු 39, නිමුතු ගුණවර්ධන 31*, විශේන් හැලඹගේ 25, තනුග පලිහවඩන 2/24.

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 6ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<