වසර 10කට පසුව ත්‍රිත්ව විද්‍යාලයට ක්‍රිකට් ශූරතාවයක්

19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

385

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2022/23 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගය අද (2) මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

එම තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 41ක ජයක් ලබා ගත් ත්‍රිත්ව විද්‍යාලය 2012 වසරට පසුව නැවතත් පාසල් ක්‍රිකට් තරගාවලියක ශූරතාවයක් සිය පාසලට රැගෙන යන්නට සමත් වුනා.

නවීන් ඒකනායකගේ පුහුණුකාරිත්වයෙන් යුත් ත්‍රිත්ව විද්‍යාලය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමින් මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා විට, ලක්මාල් ද සිල්වාගේ පුහුණුකාරිත්වයෙන් යුත් රිච්මන්ඩ් විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කරමින් අපරාජිතව මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

තණතීරුවේ පැවති තෙතමනය නිසා උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතව තිබුණු තරගය ආරම්භ වුනේ උදෑසන 11.20ටයි. ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 41කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව නායක රහල් අමරසිංහ පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඔවුන් රිච්මන්ඩ් ඉනිම පන්දුවාර 40කුත් පන්දු 3ක් අවසානයේ ලකුණු 123කට සීමා කරන්නට සමත් වුනා.

අපරාජිතව පැමිණි රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු කඩුලු 7 ලකුණු 60ක් තුල දවා ගැනීමට වමතින් දඟපන්දු යවන තීරක සහ දකුණතින් පා දඟපන්දු යවන ජයවි ඇතුළු ත්‍රිත්ව පන්දු යවන්නන්ට හැකි වුනා.

කෙසේ නමුත් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවයක් ගොඩනැංවූ ජනෙත් සහ ශාරෝන් රිච්මන්ඩ් ලකුණු පුවරුව සටන්කාමී මට්ටමක් දක්වා රැගෙන එන්නට දායක වුනා. එය රිච්මන්ඩ් ඉනිම තුල වාර්තා වූ හොඳම සබඳතාවයයි.

ශාරෝන් පන්දු 44ක් තුල ලකුණු 31ක් ලබාගෙන මේ තරගයේ රිච්මන්ඩ් විදුහලේ වැඩිම ලකුණු ලාභියා වන විට, කඩුලු රකින පිතිකරු ජනෙත් පන්දු 52ක දී ලකුණු 28ක් ලබාගෙන ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළා.

පන්දු යැවීමේ දී ත්‍රිත්ව විද්‍යාල වෙනුවෙන් වමතින් දඟපන්දු යවන තීරක ලකුණු 24කට කඩුලු 3ක් දවා ගන්නා විට, ජයවි ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 124ක පහසු ඉලක්කයක් හඹා යමින් සිටි ත්‍රිත්ව ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර ඒ නිසාවෙන් පන්දුවාර 24ක් අවසානයේ දී ඔවුන්ට අවශ්‍යව තිබුණු ලකුණු ප්‍රමාණය ලකුණු 69ක්.

කෙසේ නමුත් ඔවුන් ඒ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබාගෙන සිටි නිසාවෙන් ත්‍රිත්ව විද්‍යාලයට මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුනා.

එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක වේගවත් ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නායක රහල් සහ කඩුලු රකින පිතිකරු ජනිත් සමත් වුනා.

පන්දු 28ක් තුල 4 පහරක් සහ 6 පහරක් එල්ල කරමින් වේගවත් ලකුණු 36ක් ලබා ගැනීමට රහල් සමත් වුනු අතර ඔහු මල්ෂගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගියා. ජනිත් ලකුණු 11යි.

අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණි පබසර සහ අංක 4 පිතිකරු තීරක පිළිවෙළින් ලකුණු 19ක් සහ ලකුණු 21*ක් ලබාගෙන ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ අතර අවසානයේ දී ජයවි නොදැවී ලකුණු 10*ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නතර කිරීමට විනිසුරුවරුන් කටයුතු කළා.

පන්දු යැවීමේ දී පා දඟපන්දු යවන ක්‍රීඩක මල්ෂ ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා. තමිඳු එක් කඩුල්ලක් දවා ගත්තා.

පසුගිය වසරේ දී ද Tier A කොටසේ එක්දින අනුශූරතාවය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලයට මෙවරත් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වූ අතර 2012 දී නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වය යටතේ එක්දින, දෙදින සහ T20 ශූරතාවයන් තුනම දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලය වසර 10කට පසුව පාසල් ක්‍රිකට් ශූරතාවයක් නැවතත් සිය පාසල වෙනුවෙන් දිනා ගැනීම කැපී පෙනුණා.

  • රිච්මන්ඩ් විද්‍යාලය – 123 (40.1): ශාරොන් අභිෂේක් 31, ජනෙත් කෞෂාල් 28, තීරක රණතුංග 3/24, ජයවි ලියනගම 2/10
  • ත්‍රිත්ව විද්‍යාලය – 109/4 (24): රහල් අමරසිංහ 36, තීරක රණතුංග 21*, මල්ෂ තරුපති 3/28.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 41ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<