ටයිෆූන් මැද Try පිරුනු ලෝක කුසලානයේ ජපන් සවාරිය

142

සත්කාරකයින්ගේ සුපිරි දක්ෂතා මැද වසර ගණනකට පසුව පැමිණි දැවැන්තම ටයිෆූන් කුණාටුවෙන් බාධාවුනු ආසියාවේ පැවති පළමු රග්බි ලෝක කුසලානය පසුගියදා උත්කර්ෂවත් ලෙස නිමා වුනා. නිමා වූ ඒ ලෝක කුසලානයේ රසමුසු තැන් කිහිපයක් ThePapare.com අප සොයා ගියා. 

“සමගිය බලය වේ” – දකුණු අප්‍රිකාවෙන් උගනිමු

භාෂා 4කින් සන්නිවේදනය කරන රග්බි කණ්ඩායමක්, දරිද්‍රතාවය…..

ජපන් හපන් 

ඕනෑම තරගාවලියක සත්කාරකයින්ගේ කාර්යභාරය ඉතාම වැදගත්. තරගාවලියේ වැදගත්ම දෙයක් වුනේ සත්කාරක ජපානයේ නැගී සිටීම. පුහුණු තරගයේ දී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 41-07ක් ලෙස පරාජය වුනු ඔවුන්, තරගාවලිය ආරම්භයෙන් පසුව ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම පරාජය කළේ රග්බි ලෝකය අන්දමන්ද කරමින්. 

තරගාවලිය ආරම්භයෙන් පසුව ජපානය ලකුණු 30 – 10ක් ලෙස රුසියාව පරාජය කළ අතර දෙවන තරගයේ දී තරගාවලිය වර්ණවත් කරමින් අයර්ලන්තයට ලකුණු 19 – 12ක පරාජයක් අත්කර දෙන්නට ඔවුන් සමත් වුනා. ඔවුන්ගේ ජය දෙවෙනි වුනේ පිටියට රැස්ව සිටි ජපන් රසිකයින්ගේ ප්‍රීතිඝෝෂාවට පමණයි. ශූරයින්ගේ මාරයා වුනු ජපානය, ස්කොට්ලන්තයත් පරාජය කරමින් ඔවුන්ගේ කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වුනේ Brave Blossoms හෙවත් ජපන් රග්බි ඉතිහාසයේ සාර්ථකම ලෝක කුසලානය සනිටුහන් කරමින්. 

අර්ධ අවසන් පූර්ව වටයේ දී Springboks කණ්ඩායමට එරෙහිව ජපන් කණ්ඩායම පරාජය වුනු අතර එම තරගයේ දී ජපන් ක්‍රීඩකයින්ගේ සටන්කාමී තරග විලාසය බොහෝ දෙනාගේ අවධානයකට යොමු වුනා. ලෝක රග්බි ආයතනයේ Bill Beaumont පවසා සිටියේ රග්බි ක්‍රීඩා කරන්නේ කෙසේද කියා ජපානය ලෝකයට කියා දුන් බවත් ජපානය දැන් ලොව අංක එකේ රග්බි කණ්ඩායමක් බවත්ය. 

ටයිෆූන් අර්බුධය

වසරකට ටයිෆූන් 20 කින් පමණ පහර කන ජපානයට රග්බි ලෝක කුසලානය පැවැත්වෙන අතරතුර දීත් තවත් විපතක් සිදුවුනා. ඒ සෑහෙන කාලයකට පසුව ජපානයට බලපෑ දරුණුම සුළි කුණාටුව කඩා වැදීම හේතුවෙන්.  

Hagibis සුළි කුණාටුව ජපන් වැසියන් 80 දෙනෙකුගේ දිවි තොර කරන්නට තරම් දරුණු වුනු අතර ලෝක කුසලාන තරග සංවිධායකයින් ආරක්ෂාව පතා ලෝක කුසලාන තරග කිහිපයක් ද අවලංගු කළා. එංගලන්තය සහ ප්‍රංශය, නවසීලන්තය සහ ඉතාලිය, කැනඩාව සහ නැම්බියාව එසේ අවලංගු වූ තරග යි. රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ තරග අවලංගු වුනු පළමු අවස්ථාවද මෙයයි. 

මේ ටයිෆූන් සුළි කුණාටුව ජපන් වැසියන්ට මෙන්ම ප්‍රබල ඉතාලි කණ්ඩායමටත් ඉතාම අවාසනාවන්ත වුනා. සිය අවසන් රග්බි තරගය නවසීලන්ත All Blacks කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන්නට බලාපොරොත්තුවෙන් සිටි ඉතාලියේ සුපිරි ක්‍රීඩක Sergio Parisse හට සිය රග්බි තරගය වර්ෂාවෙන් සේදී යනු බලා සිටින්නට සිදුවුනා. 2011 වසරේ සුනාමියකට හසුව සම්පූර්ණයෙන්ම වැනසී ගිය උතුරු ජපානයේ Kamaishi නගරයට රග්බි ලෝක කුසලාන තරගයක සත්කාරකත්වය අවාසනාවන්ත ලෙස අහිමි වුනා. 

දකුණේ පියානෝගේ ශක්තිය උතුරට රැගෙන ගිය “පුතානෝලා”

රග්බි පිටියේ සොයුරන් ගැන නොයෙක් කතා අසන්නට ලැබේ. නවසීලන්තයේ…..

ඔක්තෝබර් 12 වනදා සුළි කුණාටුව ජපානයේ ටෝකියෝ නගරයට කඩා වැදුනු නමුත් ස්වෙච්ඡා සේවකයින්ගේ සහ තරගාවලි සංවිධායකයින්ගේ ඉමහත් මහන්සිය නිසා ඊට පසුදින යොකොහොමා හිදී ජපන් – ස්කොට්ලන්ත තරගය පවත්වන්නට හැකි වුනා. ටයිෆූන් කුණාටුවෙන් සිත් පෑරුනු ජපන් ජනයාගේ සිත් සතුටු කරන්නට, ඒ තරගය ජය ගත් ජපන් ක්‍රීඩකයින් සමත් වුනා. 

විනිසුරු ජරමර 

තරගාවලිය ආරම්භයේ දී විනිසුරුවරුන් අතින් නව “high-tackle” නීතිය නිසා සිදුවුනු වෙනස්වීම් රාශියක් කැපී පෙනුනා. ඒ නිසාම ලෝක රග්බි ආයතනය විනිසුරුවරුන්ට කිසියම් තරවටු කිරීමක් ද සිදුකළ බව මාධ්‍ය වාර්තා කර තිබුනා.  

කෙසේවෙතත් දකුණු අප්‍රිකානු විනිසුරු ජැකෝ පෙයිපර්, වේල්ස් රග්බි රසිකයින් කිහිපදෙනෙකු සමඟ ගත් ඡායාරූපයක් නිසා රග්බි ලෝක කුසලානයම කැළඹුනා. මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙහෙවින් හුවමාරු වුනු අතර ප්‍රංශ රසිකයින් ඒ පිළිබඳව දැඩි විරෝධයක් දක්වනු කැපී පෙනුනා. එයට හේතුව වුනේ එම තරගයේ දී විනිසුරු පෙයිපර් විසින් ප්‍රංශ ක්‍රීඩක Sebastien Vahaamahin පිටියෙන් ඉවත් කිරීමයි. එම සිදුවීම නිසා තරගය සම්පූර්ණයෙන් වෙනස් වුනු අතර ප්‍රංශයට අර්ධ අවසන් පූර්ව වටයෙන් නැවත හැරී ගෙදර යන්නට සිදුවුනා. පෙයිපර් ට එල්ල වූ විරෝධය හමුවේ බලධාරීන් විසින් ඔහුව අවසන් පූර්ව වටයේ තරග වලින් ද ඉවත් කළා. 

ජපන් ක්‍රමයට ආචාර 

ලෝක රග්බි ආයතනය ජපානයට ලෝක කුසලානය ගෙන ආවේ රග්බි ක්‍රීඩාව ආසියාවේ ප්‍රචලිත කිරීමේ අරමුණින්. පාපන්දු ක්‍රීඩාවට සහ බේස්බෝල් ක්‍රීඩාවට ඉතා ලැදි ජපානය, රග්බි ලෝක කුසලානය ඉතා සාදරයෙන් පිළිගත්තේ කිසිවෙකුත් නොසිතූ අයුරින්.

සංවිධායකයින් බලාපොරොත්තු වූවාටත් වඩා ප්‍රේක්ෂකයින්ගෙන් ක්‍රීඩාංගණ ඉතිරී ගියේ සංවිධායකයින්ට ද විශේෂ සතුටක් සහ උද්‍යෝගයක් ගෙන එමිනුයි. 

ලෝක කුසලානය පෙරලූ අමුතු කොණ්ඩකාරයා

සිනහවක් මුහුණේ රඳවා ගෙන විශ්වාසයෙන් යුතුව ප්‍රතිවාදීන් සුනුවිසුනු….

ඉතාලිය – නැම්බියාව වැනි තරගයක වුනත් ඇදහැළුණු දැඩි වර්ෂාව මධ්‍යයේ ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණ වල තෙමි තෙමී රැඳී සිටියේ තමන්ගේ රට නොවුනත් තමන් සහය දෙන කණ්ඩායම් දිරි ගන්වමින්. ඔවුන් අනෙක් රටවල රග්බි ජර්සි පවා පැළඳ අනෙක් රටවල ජාතික ගී පවා ගායනා කිරීම කැපී පෙනුනා. 

ජපන් ප්‍රේක්ෂකයින්ගේ සුපිරි සහයට ලොව පුරා රග්බි කණ්ඩායම් ද ජපන් ආරයටම ආචාර කරමින් පිටියේ සිව් කොනටම ආචාර කළේ ජපන් ජනතාවගේ සිත් සදහටම දිනා ගනිමින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<