මුරලි කුසලානය ගාල්ලට හා නිට්ටඹුවට

981

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අදහසකට අනුව නවක ක්‍රීඩකයින් සොයා යාමට 05 වන වතාවටත් සංවිධානය කරනු ලැබු “මුරලි සමගි කුසලාන 2015/2016” තරගාවලිය, කණ්ඩායම් 24කගේ සහභාගීත්වයෙන් කාණ්ඩ 6ක් ඔස්සේ පු‍රා දින 4ක් පුරා තරග වැදුණු අතර එම තරගාවලියේ අවසන් මහා තරඟ අද (25) පැවැත්විණි. මෙම තරඟ වලින් මහින්ද විද්‍යාලය හා නිට්ටඹුව යන කණ්ඩායම් ජයග්‍රහණය ලබාගන්නා ලදි.

පසුගිය ලිපි: මහින්ද විද්‍යාලය තියුණු ජයක් සමඟ අවසන් සටනට

පිරිමි අවසන් මහා තරඟය – ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර

කිලිනොච්චිය මැදි විදුහල් පිටියේදී ආරම්භ වුනු පිරිමි අවසන් මහා තරඟය සඳහා ප්‍රබල කණ්ඩායම් දෙකක් තේරී පත්විය. මේ සඳහා මහින්ද විද්‍යාලය විසින් සීනිගම සංයුක්ත කණ්ඩායම ද, නාලන්දා විද්‍යාලය විසින් මරදාන සාන්ත ජෝශප්  විද්‍යාලයද පරාජයට පත්කරමින් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

පළමුව පිටියට පැමිණි නාලන්දා විද්‍යාලයේ ආරම්භක කඩුලු 4 ලකුණු 46ක් ඇතුළත දැවීගිය අතර, 5වන කඩුල්ල සඳහා ලකුණු 39ක සබඳතාවයක් ගොඩනැංවීමට දසුන් සෙනවිරත්න හා කසුන් සඳරුවන් සමත් විය. 5වන කඩුල්ල ලෙස දසුන් දැවීගිය අතර ඔහු දැවීගියේ ලකුණු 28ක් ලබා සිටියදීය. ඔහුගේ ඉණිමට 4 පහරවල් 2ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය.

නාලන්දා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ කසුන් සඳරුවන් 4 පහර 2ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබාගෙන සිටියදී 8වන කඩුල්ල ලෙස දැවීයන ලදි.

නාලන්දා විද්‍යාලය – 117/09 (20): කසුන් සඳරුවන් 33, දසුන් සෙනවිරත්න 28, සචින්ත සුභසිංහ 22, රෙශාන් කාවින්ද 3/17, කේන් කවීන් 2/27

මහින්ද විද්‍යාලය තම ජයග්‍රහණය වෙනුවෙන් අධිෂ්ඨානව පිටියට පිවිසි අතර ඔවුන්ගේ පළමු කඩුලු දෙක පිළිවෙලින් ලකුණු 38කදී හා 39කදී දැවීයන ලදි. අනතුරුව පිටියේ තෙවන කඩුල්ල සඳහා එක්වූ නායක රවිදු වැලිහිද හා නිපුන් මාලිංග ලකුණු 79*ක නොබිදුනු සබඳතාවයක් ගොඩනංවන ලදි. එහිදී රවිදු වැලිහිද ලකුණු 49*ක් නොදැවී ලබාගත් අතර ඔහුගේ අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි විය. ඔහුගේ ලකුණු 49ට 4 පහර 7ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය. ඔහුට අනගි සහයක් ලබාදුන් නිපුන් මාලිංග 4 පහරවල් 3ක් හා 6 පහරවල් 2ක් සමඟින් නොදැවී ලකුණු 30*ක් ලබාගන්නා ලදි.

මහින්ද විද්‍යාලය – 120/02 (16.4): රවිදු වැලිහිද 49*, නිපුන් මාලිංග 30*, රෙශාන් කාවින්ද 28, ලක්ෂිත මානසිංහ 2/19


කාන්තා අවසන් මහා තරගය – නිට්ටඹුව කාන්තා කණ්ඩායම සහ මාතලේ කාන්තා කණ්ඩායම අතර

අවසන් මහා තරඟය සඳහා නිට්ටඹුව කාන්තා කණ්ඩායම A කාණ්ඩයේ ප්‍රථමයා ලෙසද, මාතලේ කණ්ඩායම B කාණ්ඩයේ ප්‍රථමයා ලෙසද තේරී පත්විය.

පළමුව පිටියට පිවිසි මාතලේ කාන්තා කණ්ඩායම වෙනුවෙන් එක් 4 පහරක් සමඟ ලකුණු 20ක් ලබාගැනීමට නිලූකා අමරසේන සමත් විය. ඇයට සහයවෙමින් ලකුණු 14 බැඟින් ලබා ගැනීමට ඩිල්රුක්ෂි අර‍ඹේගොඩ හා සඳමිණි ලංකා සමත් විය. ඔවුන් දෙපල පිළිවෙලින් 4 පහර 3ක් හා 4 පහර 2ක් ලබා ගැනීමට සමත් විය. කෙසේවෙතත් අවසානයේ සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට මාතලේ කාන්තා කණ්ඩායමට නොහැකි විය.

මාතලේ කාන්තා කණ්ඩායම – 84/10 (17.1): නිලූකා අමරසේන 20, ඩිල්රුක්ෂි අර‍ඹේගොඩ 14*, සඳමිණි ලංකා 14, ශානිකා තරුශි 2/13, ගයානි කාංචනා 2/29

දෙවනුව පිටියට පැමිණි ප්‍රබල නිට්ටඹුව කාන්තා කණ්ඩායම මාතලේ කණ්ඩායම විසින් ලබා දුන් අභියෝගයට, තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. පබසරා රන්බදු ලකුණු 26ක් ලබාගත් අතර පිත්තෙන් පන්දු 31ක් තුළ 4 පහරවල් 2ක් එල්ල කිරීමට ඇය සමත් විය. අවසානයේ නිට්ටඹුව කාන්තා කණ්ඩායම පහසු ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.

නිට්ටඹුව කාන්තා කණ්ඩායම – 85/04 (15.3): පබසරා රන්බදු 26, මලීශා ශෂිනි 17*, රුවනි මදුශිකා 15*, රැබී රජින්තා 2/17

නිට්ටඹුව කාන්තා කණ්ඩායමට කඩුලු 06ක විශිෂ්ට ජයක්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

schoolscricketcrawler