Tier B එක්දින ශූරතාව Army SC කණ්ඩායමට

Tier B 50 Over Tournament 2026

2
Tier B 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2026, Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගත් Army SC ක්‍රීඩකයෝ එහි ශූරතාව දිනා ගත්තා.

>>Galle CC සහ Army SC අතර පැවැත්වෙන Tier B අවසන් තරගය<<

කොළඹ Bloomfield ක්‍රිකට් පිටියේ දී (11දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Galle CC කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Army SC ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 284ක් ලබා ගත් අතර එම ඉනිමට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Galle CC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 261ක් පමණයි.

Army SC කණ්ඩායම

ශෙහඳ සොයිසා (නායක), අශාන් සඳරුවන් (කඩුලු රකින්නා), පැතුම් ඩිල්ශාන්, මනුශ්ක සමිත්, සුකිත දෙව්තිළිණ, ක්‍රිශේන් අපෝන්සු, අසේල ගුණරත්න, තිසර පෙරේරා, භාෂිත ලක්ෂාන්, ජානක සම්පත් සහ ලිලාන් රංගන. 

Galle CC කණ්ඩායම

අමිත් එරංග (නායක), යුතික ද සිල්වා, දුල්සිත් දර්ශන, ලිසුල ලක්ෂාන් (කඩුලු රකින්නා), කෙවින් කොත්තිගොඩ, චානක දේවින්ද, තේජාන් ප්‍රසංජන, සුභානු රාජපක්ෂ, කවිඳු නිර්මාණ, රජීව විරසිංහ සහ අසේල සම්පත්.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Army SC කණ්ඩායම ආරම්භයේ සිට ම ශක්තිමත් ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ කාර්යයේ නිරත වූවා. එහි දී වැඩි වැඩ කොටසක් සිදු කළේ මැද පෙළින් පිටියට පිවිසි අසේල ගුණරත්න.

ඔහු Army SC ඉනිම අවසන් වෙද්දී පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 99ක් ලබා සිටියා. ඔහුගේ එම ඉනිම තුළ දී ජනක සම්පත් හා 9 වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 76ක දී ලකුණු 88ක සබඳතාවක් ද එක් කරනවා.

එහි දී ජනක සම්පත් පන්දු 39ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා. ඊට අමතර ව මනුශ්ක සමිත් පන්දු 39ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ද සහ අශාන් සුදර්ශන පන්දු 32ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චානක දේවින්ද සහ කෙවින් කොත්තිගොඩ කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව රජීව වීරසිංහ, සුභානු රාජපක්ෂ සහ අසේල සම්පත් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Galle CC ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ තේජාන් ප්‍රසංජන. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා.

ඔහු එම ඉනිම තුළ දී චානක දේවින්ද හා එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 61ක දී ලකුණු 79ක සබඳතාවක් ද සහ කවිඳු නිර්මාණ හා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 45ක සබඳතාවක් ද එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට උත්සාහ කළ ද ඔහුගේ එම උත්සාහය 9 වැනි කඩුල්ලට දැවී යෑමත් සමඟින් අසාර්ථක වූවා.

එහි දී චානක දේවින්ද පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ද, කෙවින් කොත්තිගොඩ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද, යුතික ද සිල්වා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද සහ කවිඳු නිර්මාණ පන්දු 15ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ලිලාන් රංගන සහ බාශිත ලක්ශාන් කඩුලු 3ක් බැගින් ද, අසේල ගුණරත්න සහ ජනක සම්පත් කඩුලු ද්විත්වය බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Army SC – කඩුලු 9ක් දැවී 284 (50.0) අශාන් සුදර්ශන 25, මනුශ්ක සමිත් 39, සුකිත දෙව්තිළිණ 23, අසේල ගුණරත්න නොදැවී 99, ජනක සම්පත් 38, චානක දේවින්ද 2/29, කෙවින් කොත්තිගොඩ 2/51

 

Galle CC – සියලුම දෙනා දැවී 261 (48.4) යුතික ද සිල්වා 26, කෙවින් කොත්තිගොඩ 30, චානක දේවින්ද 43, තේජාන් ප්‍රසංජන 85, බාශිත ලක්ශාන් 3/56, ලිලාන් රංගන 3/54, ජනක සම්පත් 2/53, අසේල ගුණරත්න 2/42

 

Army SC කණ්ඩායමට ලකුණු 23ක ජයක්.

  • අවසන් මහා තරගයේ වීරයා – අසේල ගුණරත්න (Army SC)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – යුතික ද සිල්වා (Galle CC)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ඩිලංක අවර්ඩ්ට් (Navy SC)
  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – රුචිර සිල්වා (Kurunegala SC)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<