මිලින්ද, නලින් සහ යොහාන් දක්ෂතා දක්වයි

SLC Major League Cricket Tournament 2022

469

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ 12 වැනි සතියේ පළමු දිනය වූ අද (04) දවස නිමාවේ දී මිලින්ද සිරිවර්ධන, නලින් ප්‍රියදර්ශන සහ යොහාන් ද සිල්වා කැපී පෙනෙන දක්ෂතා දැක්වූවා.

මේ අතරින් සැරසන්ස් කණ්ඩායමේ නායක මිලින්ද සිරිවර්ධන අද තම පළමු පෙළ ලකුණු 8000 සීමාව පසු කිරීමට සමත් වුනා. ඒ නාවික හමුදා කණ්ඩායම සමඟ පැවති තරගයේ දී. මිලින්ද මේ ක්‍රීඩා කරන්නේ තම පළමු පෙළ ක්‍රීඩා දිවියේ 136 වැනි තරගයටයි. එම තරගවල දී ශතක 16ක් සහ අර්ධ ශතක 51ක් වාර්තා කරගැනීමට ඔහු සමත්ව සිටිනවා.

එමෙන්ම පොලිස් ක්‍රීඩා සමාජයේ දකුණතින් පිට දඟපන්දු යවන නලින් ප්‍රියදර්ශන අද CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 72කට කඩුලු 6ක් දවා ගත්තා. එය නලින්ගේ පළමු පෙළ තරගවල හොඳම දක්ෂතාව වන අතර මෙම තරගයේ දී ලසිත් අබේරත්න දවා ගැනීමත් සමඟින් ඔහු තම පළමු පෙළ කඩුලු 100 සීමාව පසු කිරීමට ද සමත් වුනා.

ඔහුගේ දක්ෂතා අතර ඉනිමක කඩුලු 4ක් දවා ගැනීම් 6ක්, කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගැනීම් 6ක් සහ තරගයක කඩුලු 10කට වැඩියෙන් දවා ගැනීම් 1ක් ඒ අතර වෙනවා.

මේ අතර දිනයේ වාර්තා වූ එකම ශතකයේ හිමිකාරීත්වය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු යොහාන් ද සිල්වා සතු වුනා. ඔහු බදුරලිය කණ්ඩායමට එරෙහිව පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 111ක් රැස් කරගත්තා.

දිනයේ අර්ධ ශතකලාභීන් අතරට CCC කණ්ඩායමේ පවන් පතිරාජ සහ චමිඳු විජේසිංහ, ලංකන් කණ්ඩායමේ ඉසිවර දිසානායක, සැරසන්ස් කණ්ඩායමේ නවිඳු විතානගේ සහ හෂේන් රාමනායක, මීගමුව කණ්ඩායමේ පසිඳු ලක්ෂාන් සහ NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ එකතු වුනා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට යුද හමුදාවේ සීක්කුගේ ප්‍රසන්න සමත් වුනා. ඔහු ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 71කට කඩුලු 6ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දැක්වූවා.

ඊට අමතරව මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව ද, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ සචිත්‍ර පෙරේරා ලංකන් කණ්ඩායමට එරෙහිව ද, Ace කැපිටල් කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස NCC කණ්ඩායමට එරෙහිව ද කඩුලු 5 බැගින් දවා ගත්තා.

මේ අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ තරග 4ක් වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ නොයවා පළමු දිනයට අතහැර දැමීමට සිදුවුනා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සහ SSC අතර තරගය, මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කලුතර ටවුන් සමාජය සහ කෝල්ට්ස් අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පානදුර සහ ටැමිල් යුනියන් අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කුරුණෑගල යූත් සහ BRC අතර තරගයි.

Group A

CCC සහ පොලිසිය අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • CCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 191 (58.2): චමිඳු විජේසිංහ 68, පවන් පතිරාජ 51, සොනාල් දිනූෂ 24, මිනෝද් භානුක 22, නලින් ප්‍රියදර්ශන 6/72, මංජුල ජයවර්ධන 4/29.
  • පොලිසිය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 68 (28): නදීර බාලසූරිය 25, මාලින්ද පුෂ්පකුමාර 4/34.

ලංකන් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 210 (89): ඉසිවර දිසානායක 85, ප්‍රසංසන ජයමාන්න 45, ගීත් කුමාර 37, සචිත්‍ර පෙරේරා 5/61, සහන් අදීශ 2/30.
  • කැන්ඩි කස්ටම්ස් – කිසිවෙක් නොදැවී 6 (2)

මුවර්ස් සහ සෙබස්තියනයිට්ස් අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 197 (64.2): තරුෂ ප්‍රනාන්දු 44, ලොහාන් ද සොයිසා 39, සඳුන් ප්‍රනාන්දු 36, චාමිකර එදිරිසිංහ නොදැවී 28, රමේෂ් මෙන්ඩිස් 5/62, තිලංග උදේශන 3/35, තීසාන් විතුසාන් 2/32.
  • මුවර්ස් – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 96 (23): සොහාන් ද ලිවේරා නොදැවී 35, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 29, මොහොමඩ් ශමාස් 26.

Group B

බ්ලූම්ෆීල්ඩ් සහ බදුරලිය අතර තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී

  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 243 (71): යොහොන් ද සිල්වා 111, ගජිත කොටුවේගොඩ 42, Hasnain Bokhari 40, චරිත කුමාරසිංහ 31, චලන ද සිල්වා 2/81, නිර්මල රත්නායක 2/46.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී

  • ගුවන් හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 204 (48.1): සුපේෂල ජයතිලක 48, කසුන් ඒකනායක 33, රොස්කෝ තට්ටිල් 21, මොවින් සුබසිංහ 24, සීක්කුගේ ප්‍රසන්න 6/71, සුමින්ද ලක්ෂාන් 2/42.
  • යුද හමුදාව – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 142 (39): අසේල ගුණරත්න නොදැවී 40, මහේෂ් කුමාර නොදැවී 38, අශාන් රන්දික 25, ගයාන් සිරිසෝම 2/42, මොවින් සුබසිංහ 2/36.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සැරසන්ස් අතර තරගය වැලිසර නාවික හමුදා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 269 (97): නවිඳු විතානගේ 89, හෂේන් රාමනායක 55, මිලින්ද සිරිවර්ධන 48, ප්‍රමෝද් මදුවන්ත 38, යුරාන් නිමාෂ 4/88, නවින් කවිකාර 3/86.


මීගමුව සහ නුගේගොඩ අතර තරගය කටුනායක FTZ පිටියේ දී

  • මීගමුව – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 176 (50): පසිඳු ලක්ෂාන් 64, Jatin Saxena නොදැවී 32, ඇන්ජලෝ ජයසිංහ 20, රනිත ලියනාරච්චි 2/19.

NCC සහ Ace කැපිටල් අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 183 (54): සහන් ආරච්චිගේ 67, අහන් වික්‍රමසිංහ 34, කවින් බණ්ඩාර 32, රොෂාන් ජයතිස්ස 5/21, වනුජ සහන් 3/39.
  • Ace කැපිටල් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 93 (23): ලසිත් කෲස්පුල්ලේ 30, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 29, අම්ෂි ද සිල්වා 2/15.

මේ සියලු තරග හෙට දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<