ආසියානු කුසලාන ඉතිහාසයේ ජයසූරිය සලකුණ

488

ආසියාවේ ක්‍රිකට් බලවතුන් තේරීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් “ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය” නමින් එක්දින ක්‍රිකට් තරගාවලියක් 1984 වසරේදී ආරම්භ කළේය. එලෙස ආරම්භ වූ තරගාවලිය විවිධ බාධක හා හැලහැප්පීම් මධ්‍යයේ අඛණ්ඩව මේ දක්වා පැවැත්වීම ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ලැබූ ජයග්‍රහණයකි.

එංගලන්තයේ සිට නැවත සේවයට වාර්තා කරන ටෙස්ට් තරුව

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ සාර්ථකම කඩුලු රකින මැදපෙළ පිතිකරුවන්…

ආසියානු කුසලාන ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට ශ්‍රී ලංකාවට යම් හේතුවක් නිසා සුවිශේෂී වටිනාකමක් හිමිව තිබේ. එනම් 1986 ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාව වර්ජනය කළද, 1990/91 ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානය වර්ජනය කළද, ශ්‍රී ලංකාව එලෙස දේශපාලන ප්‍රශ්න මත කිසිඳු අවස්ථාවක ආසියානු කුසලාන තරගාවලියක් වර්ජනය නොකිරීමයි. එමනිසාම මේ දක්වා පැවති සෑම ආසියානු කුසලාන තරගාවලියකටම සහභාගී වූ එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

espncricinfo
1997 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයේ වීරයා ලෙස මාවන් අතපත්තු සම්මාන ලබමින් – Courtesy – espncricinfo

මෙම තරගාවලිය සඳහා සහභාගී වීමෙන් පමණක් නොනැවතුණු ශ්‍රී ලංකාව 1984 වසරේ සිට 2010 වසර දක්වා පැවති සෑම ආසියානු කුසලාන තරගාවලියකම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වී තිබේ. එලෙස ආසියානු කුසලාන තරගාවලි වලදී ශ්‍රී ලංකා පිලට සාර්ථක වීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදුන් සුපිරිම ක්‍රිකට් තරු රැසක් අපට ශ්‍රී ලංකා ක්‍රිකට්  ඉතිහාසය පිරික්සා බලන විට හමුවෙයි. එම ක්‍රීඩකයන් අතුරින් මේ ජයග්‍රහණ පිටුපස සිටින ප්‍රබලම ක්‍රීඩකයෙකු ලෙස “ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වමත් කසකරු” ලෙස ප්‍රසිද්ධියට පත්වූ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකු වූ සනත් ජයසූරිය ව නම්කළ හැකිය.

පිත්තෙන් අසාර්ථක වූ සනත්ගේ මුල්ම ආසියානු තරගාවලිය

1990/91 ආසියානු කුසලාන තරගාවලිය, සනත් ජයසූරිය මුල්ම වරට සහභාගී වූ ආසියානු කුසලාන තරගාවලිය වූ අතර ඉන්දියාව සත්කාරකත්වය දැරූ එම තරගාවලිය සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සහභාගී විය. මෙම තරගාවලියේ මූලික වටයේදී ඉන්දීය පිලට එරෙහිව කටක් හී බරබාටි පිටියේ පැවති තරගයේදී අසීරු මොහොතක පන්දු 24කින් ලකුණු 23ක් ලබාගත් ජයසූරියට බංගලාදේශයට එරෙහිව පැවති තරගයේදී පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමිවූයේ නැත.

wisden.com
2004 ආසියානු කුසලාන අවසන් තරගයේදී සචින් ටෙන්ඩුල්කාර්ව දවාගනිමින් සතුටුවන තිලකරත්න දිල්ෂාන් – Courtesy – wisden.com

ඉන්පසු කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවති අවසන් තරගයේදී කපිල් දේව් ලබාගත් කඩුලු ත්‍රිත්වයේ කඩුලු ත්‍රිත්ව පන්දුවට දැවීයාමට ජයසූරියට සිදුවීම ඔහුගේ ආසියානු කුසලාන ක්‍රිකට් දිවියේ අමතක නොවන අවස්ථාවක් විය. එලෙස ඔහු සහභාගී වූ මුල්ම ආසියානු කුසලාන තරගාවලියේ අසාර්ථක වූ සනත් ජයසූරිය දිනෙන් දින ක්‍රිකට් පිටියේදී ලබාගත් අත්දැකීම් තුළින් සිය ක්‍රිකට් දිවිය සාර්ථක කරගත්තේය.

ජයසූරිය ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව රැගෙන ගිය ආකාරය

1995 ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරදී පැවති අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් එම තරගාවලියට සහභාගී වීම නිසා තරගාවලිය පිළිබඳව ක්‍රිකට් ලෝලීන්ගේ උනන්දුව වැඩිවිය.

නායකත්වය නොදුන්නොත් ලෝක කුසලානයට පෙර මාලිංග සමුගැනීමේ සූදානමක

එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තමාගෙන් ඉවත්…

නවසීලන්තයේදී නවසීලන්ත පිල ටෙස්ට් තරගාවලියකින් පරාජය කරමින් විදෙස් රටකදී මුල්ම වරට ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමෙන් අනතුරුව මෙම තරගාවලියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිල, මෙම කාලසමය වනවිට ක්‍රිකට් තරග  ජයග්‍රහණ පිපාසයෙන් පසුවිය. මෙම තරගාවලියේ මුල්ම තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 8කට කඩුලු 2ක් දැවීගොස් තිබූ අවස්ථාවේ සනත් ජයසූරිය පිතිකරණයට පැමිණ පන්දු 72කින් ලකුණු 51ක් ලබාගනිමින් සිය ආසියානු කුසලාන ක්‍රිකට් දිවියේ මුල්ම අර්ධ ශතකය ලබාගත් අතර අනතුරුව ඉන්දියාවට එරෙහිව පැවති තරගයේදී පන්දු 39කින් ලකුණු 31ක් ලබාගත්තේය.

Bangalianaa.com
2008 ආසියානු කුසලානය අතැතිව සිටින මහේල ජයවර්ධන – Courtesy – Bangalianaa.com

මෙම තරග දෙක අවසන් වනවිට ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ තරග 2න් 1ක් ජයගෙන තිබූ අතර ඉන්දීය පිල තරග 3න් 2ක් සහ පාකිස්තානු පිල තරග 2න් 2ම ජයග්‍රහණය කර තිබුණි. දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ඒ වනවිට ඉන්දීය පිල අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා තිබූ අතර ශ්‍රී ලංකා පිලට අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් පකිස්තානය සමඟ පැවැත්වෙන තරගය ඉතාමත් හොඳ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවාගෙන ජයගත යුතුව තිබුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ අර්ජුණ රණතුංග පාකිස්තානයට මුලින්ම පන්දුවට පහර එල්ල කිරීමට ආරාධනා කළේය. තරගයේ මුල සිටම දැඩි අධිෂ්ඨානයෙන් පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට, පන්දු රකින්නන්ගෙන් ලැබුණු මනා සහය නිසා නියමිත පන්දුවාර 50 තුළ පාකිස්තානු ඉනිම 178/9 ලෙස සීමාවූ අතර ශ්‍රී ලංකා පිල අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් මෙම ඉලක්කය පන්දුවාර 33ක් තුළ හඹා යාමට අවශ්‍ය විය. එය වසීම් අක්‍රම් ප්‍රමුඛ පාකිස්තානු පිල ඉදිරියේ විශාල අභියෝගයක් වුවද වකාර් යුනිස් සහ අකීබ් ජාවෙඩ් වැනි පන්දු යවන්නන් මෙම තරගය සඳහා සහභාගී නොවීම ශ්‍රී ලංකා පිලට විශාල අස්වැසිල්ලක් විය.

එදා පන්දුවාර 33ක් තුල ලකුණු 179ක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සනත් ජයසූරිය පන්දු 15කින් ලකුණු 30ක් රැස් කරමින් ලබාදුන් වේගවත් ආරම්භය ඔස්සේ ඉදිරියට ගිය ශ්‍රී ලංකා පිල තරගය අවසානයේදී පන්දුවාර 30.5කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය හිමිකර ගෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. පන්දු යැවීමේදී පන්දුවාර 10 තුළ ලකුණු 31ක් පමණක් ලබාදී කඩුලු 1ක් සහ පිතිකරණයේදී පන්දු 15ක් තුළ වේගවත් ලකුණු 30ක් ලබාගත් සනත් ජයසූරිය තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර එය ඔහු ආසියානු කුසලාන ඉතිහාසයේ දිනූ මුල්ම තරගයේ වීරයා සම්මානය විය. එලෙස ශ්‍රී ලංකා පිල ආසියානු කුසලාන අවසන් තරගය කරා රැගෙන ගිය ජයසූරිය ඉන්දීය පිලට පරාජයවූ අවසන් තරගයේදී පන්දු 28කින් ලකුණු 22ක් ලබාගත් අතර ඒ වනවිට ඔහු තරග 4ක් තුළ ලකුණු 134ක් රැස්කරගෙන තිබුණේ ඔහුගේ මුල්ම ආසියානු කුසලාන තරගාවලියට වඩා සාර්ථක ආසියානු කුසලාන තරගාවලියක් බවට පත්කර ගනිමිනි.

sportstar 1995 april 22 magazine
ඉන්දියාවට එරෙහිව මූලික වටයේ තරගයේදී කුම්බ්ලේගේ පන්දුවක් හමුවේ දැවී ගිය සනත් ජයසූරිය – Courtesy – sportstar 1995 april 22 magazine

ජයසූරිය ආසියානු කුසලාන තරග දිවියේ මංගල ශතකය වාර්තා කරයි

1986 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට නැවතත් ආසියානු කුසලාන තරගාවලියක සත්කාරක රට වීමේ ගෞරවය 1997 වසරේදී උදාවිය. ඒ වනවිට එක්දින පිටියේ ලෝක ශූරයන් ලෙස වැජඹුණු ශ්‍රී ලංකා පිලේ සිටි භයානකම පිතිකරුවා ලෙස සනත් ජයසූරිය ප්‍රසිද්ධියට පත්ව සිටියේය. මෙම තරගාවලිය ආරම්භයේදී තරමක් අසාර්ථක වූ ජයසූරිය මුල්ම තරගයේදී පාකිස්තානු පිලට එරෙහිව පන්දු 41කින් ලකුණු 33ක් ලබාගත්තද දෙවන තරගයේදී ඉන්දීය පිලට එරෙහිව පළමු පන්දුවෙන්ම දැවී ගියේය.

මුල් තරග දෙකේදී අසාර්ථක වූ සනත් ජයසූරිය බංගලාදේශයට එරෙහිව පැවති තරගයේදී හතරේ පහරවල් 14ක් හා හයේ පහරවල් 3ක් සමඟින් පන්දු 83කින් ලකුණු 108ක් රැස්කර ගනිමින් ඔහුගේ ආසියානු කුසලාන තරග දිවියේ මංගල ශතකය ලබාගත්තේය. ඒ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා තිබූ අතර අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලු 7ක් දැවී ලකුණු 239ක් ලබාගත්තේය. අනතුරුව ලකුණු 240ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු 52ක් තුළ හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 2ක් සමඟින් සනත් ජයසූරිය වාර්තා කළ වේගවත් ලකුණු 63 නිසා පන්දුවාර 36.5කදී කඩුලු 2ක් පමණක් දැවී ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය කරා යාමට හැකිවිය.

මෙම තරගාවලිය තුළ වඩාත් සාර්ථකත්වයට පත්වූ සනත් ජයසූරිය තරග 4ක් තුළ 51.00ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් සහ 115.25 ක ප්‍රහාරාත්මක වේගයක් සමඟින් ලකුණු 204ක් ලබාගත්තේය.

gettyimages
ජයසූරිය ඉන්දීය පිලට එරෙහිව ශතකය ලබාගත් මොහොත – Courtesy – gettyimages

ඉන්දියාවට එරෙහිව ජයසූරියගෙන් ශතකයක්

2000 වසරේ බංගලිදේශයේදී පැවති ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග වලදී බංග්ලාදේශය සහ පාකිස්තානයට එරෙහිව ලකුණු 28 බැගින් ලබාගත් සනත් ජයසූරිය, ඉන්දීය පිලට එරෙහිව පන්දු 116කින් අගනා ලකුණු 105ක් ලබාගත්තේ නැවතත් ශ්‍රී ලංකා පිලට ආසියානු කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ මාවත විවර කරමිනි.

අවසන් තරගයේදී පාකිස්තානය හමුවේ ලකුණු 277ක් හඹායාමට සිදුවූ අවස්ථාවේ ජයසූරිය ලකුණු 22කට දැවීයාම එදා ශ්‍රී ලංකා පිල තරගය පරාජය වීමට ප්‍රධාන හේතුවක් විය. මෙම තරගාවලියේදී තරග 4ක් තුළ 45.75 ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් සහ 87.75ක ප්‍රහාරාත්මක වේගයක් සමඟ ලකුණු 183ක් ලබාගැනීමට සනත් ජයසූරියට හැකිවිය.

දුලිප් මෙන්ඩිස්ගේ ඉල ඇදුණු පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය

හැත්තෑව දශකය තෙක්ම සාම්ප්‍රදායික ටෙස්ට් තරගවලට පමණක් ඉඩ වෙන්ව තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවට…

ජයසූරිය ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වෙයි

2004 වසරේ ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවති අතර එවර හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුල්ම වරට ආසියානු කුසලානය සඳහා සහභාගී විය. මෙම තරගාවලියේ මූලික වටයේ තරගවලදී බංග්ලාදේශය හමුවේ පන්දු 101කින් නොදැවී ලකුණු 107ක් ලබාගත් සනත් ජයසූරිය ඉන්දීය පිලට එරෙහිව පන්දු 132කින් අගනා ලකුණු 130ක් ලබාගත්තේ ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තා අතරට එක්ව සිටි අර්ජුණ රණතුංග රැස්කළ ලකුණු 741ක අභිබවා යමිනි.

gettyimages
ජයසූරිය බංග්ලාදේශයට එරෙහිව නොදැවී ශතකයක් ලබාගෙන ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙනගිය මොහොත – Courtesy – gettyimages

මෙම තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දීය පිල පරාජය කළ ශ්‍රී ලංකා පිලට හිමිවූ ශූරතාවය අතර තරගාවලිය තුළ සනත් ජයසූරිය 73.25ක පිතිකරණ සාමාන්‍යයක් සහ 91.84ක ප්‍රහාරාත්මක වේගයක් සහිතව ලකුණු 293ක් ලබාගත්තේය.

වයසට අභියෝග කළ සිංහයා  

2008 ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේදී පැවති අතර තරගාවලිය ආරම්භ වනවිට සනත් ජයසූරිය 38වන වියේ පසුවිය. මෙම තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති මුල්ම තරගයේදී ජයසූරිය පන්දු 47ක් තුළ හතරේ පහරවල් 10ක් සහ හයේ පහරවල් 3ක් සමඟින් වේගවත් ලකුණු 72ක් රැස් කළද ඉන් සෑහීමකට පත්නොවූ ඔහු සිය 39වන උපන්දිනය යෙදී තිබුණු දින නැවතත් බංග්ලාදේශ පිලට එරෙහිව හතරේ පහරවල් 16ක් සහ හයේ පහරවල් 6ක් සමඟින් පන්දු 88කදී ප්‍රචණ්ඩකාරී ලකුණු 130ක් ලබාගත්තේ ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 1000 රැස්කරගත් මුල්ම ක්‍රීඩකයා වෙමිනි.

ඉන්දියාව සමඟ පැවති අවසන් තරගයේදී ලකුණු 66කට ශ්‍රී ලංකා පිලේ කඩුලු 4ක් දැවීගොස් තිබූ අවස්ථාවේ ක්‍රියාත්මක වූ සනත් ජයසූරිය, ඉන්දීය පන්දු යවන්නන්ට එලව එලවා පහරදීමට පටන් ගත්තේය. එහිදී රුද්‍රා ප්‍රතාප් සිංගේ එක් පන්දුවාරයකදී ලකුණු 26ක් උදුරාගත් ජයසූරිය අවසානයේදී පන්දු 114ක් තුළ හතරේ පහරවල් 9ක් සහ හයේ පහරවල් 5ක් සමඟින් ලකුණු 125ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පිල ලකුණු 273ක් වැනි සටන්කාමී ලකුණු ප්‍රමාණයක් කරා ගෙනයාමට අත්වැලක් වෙමිනි.

gettyimages
අවසන් තරගයේ ඉන්දීය පිලට එරෙහිව ජයසූරිය ශතකය ලබාගත් මොහොත – Courtesy – gettyimages

අනතුරුව අජන්ත මෙන්ඩිස් 13/6 ලෙස පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකාව පහසුවෙන්ම මෙම තරගය ජයග්‍රහණය කළ අතර තරගාවලිය පුරා සනත් ජයසූරිය පිත්තෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූයේ සිය වයසට අභියෝග කරමිනි. මෙම තරගාවලිය තුළ තරග 5ක් ක්‍රීඩාකළ සනත් ජයසූරිය එහිදී 75.60ක පිතිකරණ සාමාන්‍යයක් සහ 126.00ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන ලකුණු 378ක් ලබාගත්තේය. 38වන වියේ පසුවූ ජයසූරිය එදා දැක්වූ දස්කම් සැබවින්ම විශ්මයජනකය.

ජයසූරිය ආසියානු කුසලාන ඉතිහාසයේ විශිෂ්ඨයෙකු විය

ආසියානු  කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වූ සනත් ජයසූරිය ඉනිම් 24ක් තුළ 53.04ක පිතිකරණ සාමාන්‍යයක් සහ 102.52ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන ලකුණු 1220ක් රැස් කිරීමට සමත්විය. එහිදී අර්ධ ශතක 3ක් සහ ශතක 6ක් ලබාගත්තේ ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවා ලෙසිනි. ඔහු ලබාගත් ශතක 6න් 3ක් ඉන්දීය පිලට එරෙහිව ලබාගත් අතර ඉතිරි ශතක 3ම බංග්ලාදේශයට එරෙහිව ලබාගත්තේය.

සනත් ජයසූරියගේ ආසියානු කුසලාන ක්‍රිකට් දිවියේ දක්නට ලැබෙන සුවිශේෂීම සිදුවීම වන්නේ පාකිස්තානයට එරෙහිව තරග 6ක් තුළ ලකුණු 141ක් පමණක් ලබාගැනීමයි. එහිදී ඔහු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වූයේ 1997 වසරේ ලබාගත් ලකුණු 33යි. දශක 2කට ආසන්න කාලයක් පුරා ආසියානු කුසලාන තරග බිමේ පෙළහැර පෑ සනත් ජයසූරියගේ දස්කම් සැමදා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ හදවතේ රැඳෙනු ඇති අතර ඔහුගේ අඩුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පහසුවෙන් පිරවිය නොහැකි වනු නොඅනුමානය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<