ක්‍රීඩා‌ ‌පිටියේ‌ ‌පිස්සු‌ ‌නැටූ‌ ‌Jarvo‌ ‌අත්අඩංගුවට‌ ‌ ‌

එංගලන්ත ඉන්දීය ටෙස්ට් තරගාවලිය 2021

181

ඉන්දීය එංගලන්ත සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර නැවත වරක් ක්‍රීඩා පිටියට කඩාවැදුණු Daniel Jarvis හෙවත් Jarvo අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම අවස්ථාවේ දී පිටියේ සිටි එංගලන්ත පිතිකරු Jonny Bairstowගේ ඇඟෙහි වැදීම නිසාවෙන්. 

මෙම සිදුවීම ඔහු සිතාමතා සිදු කළ පහරදීමක් දැයි මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුර ප්‍රේක්ෂකයෙකු ක්‍රීඩා පිටිය තුළට කඩාවදින ආකාරය පසුගිය දින කීපය තුල බොහෝ දෙනාගේ අවධානයට යොමු වුනා. YouTube නාලිකාවක හිමිකරුවෙකු වන Daniel Jarvis හෙවත් Jarvo මේ වන විට මහත් ප්‍රසිද්ධියක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. 

පසුගිය ටෙස්ට් තරග කීපය තුල දී ම ඔහු ක්‍රීඩා පිටියට පිවිසෙන ආකාරය දක්නට ලැබුණු අතර ආරක්ෂකයන්ගෙන් මිදී ඔහු ක්‍රීඩා පිටිය මැදට ගොස් තරගයට බාධා කරන ආකාරය ද කැමරා කාචවල සටහන්ව තිබුණා. 

සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (04) එංගලන්ත ඉනිමේ 34 වැනි පන්දුවාරයේ දී පිටියට පැමිණ තිබුණා. එහි දී ඔහු ඉන්දීය පන්දු යවන්නා වූ Umesh Yadav පසුකරයමින් සිය අතේ තිබූ පන්දුවකින් දමා ගසන ආකාරය දක්නට ලැබුණා. ඉන් අනතුරුව ඔහු එංගලන්ත පිතිකරු Jonny Bairstowගේ ඇඟෙහි වැදී තිබුණා. පසුව ආරක්ෂකයින් පැමිණ ඔහු ඉවත් කිරීමට කටයුතු කළා. 

Jarvo මීට පෙර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී සහ ලීඩ්ස් ක්‍රීඩාංගණයේ දී ද මෙලෙස බාධා එල්ල කර තිබුණා. හෙඩින්ලී තරගයේ දී ද ඔහු බාධා එල්ල කළ අතර එහි දී ඔහුට ජීවිතාන්තය දක්වා හෙඩින්ලී ක්‍රීඩාංගණයට ඇතුල් වීම සඳහා තහනමක් පැනවීමට ක්‍රීඩාංගණ බලධාරීන් කටයුතු කර තිබුණා. 

ඊයේ Jarvo ක්‍රීඩාංගණයට පිවිසි අත‍රතුර Jonny Bairstow සමඟ සිදු වූ ගැටීම සිතාමතා කළ පහරදීමක් දැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව Reuters වාර්තා කර තිබුණා.

“පසුගිය 3 වන සිකුරාදා ඕවල් ක්‍රීඩාංගණයේ සිදු වූ සිදුවීම අතරතුර ක්‍රීඩකයෙක් සමඟින් සිදු වූ ගැටීම සිතාමතා කළ පහරදීමක් දැයි සැකපිට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන දකුණු ලන්ඩන් පොලිසිය විසින් මේ වන විට රඳවා ගෙන සිටිනවා”, බ්‍රිතාන්‍යය මාධ්‍ය වෙත අදහස් දක්වමින් එරට මෙට්‍රොපොලිටන් පොලිසිය පවසා සිටියා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටියේ කිසිදු අවස්ථාවක දී මෙලෙස ක්‍රීඩා පිටියට කඩාවැදීම අනුමත කළ නොහැකි බවයි. 

“එංගලන්ත ක්‍රිකට් ආයතනය විදිහට අපි සහ අපේ ක්‍රීඩාංගණවල බලධාරීන් මෙම සිදුවීම්වලට කිසිදු සමාවක් දෙන්නේ නැහැ. මේ වගේ දේවල් වලින් ක්‍රිකට් ක්‍රීඩකයන්, විනිසුරුවන් සහ නිලධාරීන් ගේ ආරක්ෂාවට බලපෑමක් එල්ල වෙනවා.” 

“ක්‍රිකට් ආයතනය විදිහට අපි ක්‍රීඩාංගණ බලධාරීන් එක්ක සමීපව කටයුතු කරනවා මේ වගේ සිදුවීම වළක්වා ගන්න. ඒ සම්බන්ධයෙන් ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනත් අපි සොයා බලනවා”, එංගලන්ත ක්‍රිකට් ආයතනය බ්‍රිතාන්‍යය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ නිමා වුනා. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 191ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම ලකුණු 290ක් සිය ලකුණු පුවරුවට එක් කර තිබුණා. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම දිනය නිමා වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 43ක් රැස්කරගෙන සිටියා. ඔවුන් එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 56ක් පසුපසින් සිටිනවා.

තරගාවලිය ටෙස්ට් තරග 5කින් සමන්විත වන අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනා. කෙසේ වෙතත් දෙවැනි තරගයේ ජයග්‍රහණය ඉන්දියාව සතු වූ අතර තුන්වැනි තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<