දකුණු අප්‍රිකානු කණ්ඩායම කබලෙන් ලිපට; නායකත්වයේ වෙනසක්

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

387
Temba Bavuma

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක Temba Bavuma හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉදිරි එක්දින තරග දෙක සහ විස්සයි විස්ස තරග තුනම මඟ හැරී යන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (3) තහවුරු කර සිටියා. ඒ ඔහුගේ දකුණු මහපට ඇඟිල්ලේ හටගෙන තිබෙන ආබාධයක් නිසයි.

ඊයේ (2) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගයේ දකුණු අප්‍රිකානු ඉනිමේ 26 වැනි පන්දුවාරයේ දී පන්දු රකින්නෙක් විසින් කඩුලු රකින්නා වෙත යොමු කළ පන්දුවක් Bavumaගේ දකුණු අතේ ඇඟිල්ලේ වැදීම නිසා ඔහුට මේ ආබාධයට මුහුණ දීමට සිදු වුනා. ඉන්පසුව ඔහු පන්දුවාර දෙකක් පමණ ක්‍රීඩා කළ නමුත් එහි වේදනාව වැඩිකම නිසාවෙන් ඔහු පිටියෙන් ඉවත්ව ක්‍රීඩාගාරයට ගියා.

තරගයට පසුව සිදු කළ ස්කෑන් පරීක්ෂාවේ දී අනාවරණය වූයේ ඔහුගේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුව තිබෙන බවයි. ඒ අනුව ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු අප්‍රිකාව බලා පිටත් කොට ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කිරීමට නියමිත බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සිය මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉදිරි එක්දින තරග දෙක තුල දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස දඟපන්දු යවන ක්‍රීඩක Keshav Maharaj කටයුතු කිරීමට නියමිතයි.

එසේම විස්සයි විස්ස තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ලබා දෙන ක්‍රීඩකයා පිළිබඳව ඉදිරි දින කිහිපය තුල දී තීරණය කිරීමට නියමිත බව ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා. 

දෙරට අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීගයේ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස දැනට ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා. දෙරට අතර පැවැත්වෙන මීළඟ තරග දෙක මේ මස 4 වැනි සෙනසුරාදා සහ 7 වැනි අඟහරුවාදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<