LPL සහ දේශීය ක්‍රිකට් ආරම්භයට පිඹුරුපත් සැකසේ

2650
2012 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාවන් කිහිපයක දී ම LPL තරගාවලිය නැවත ආරම්භ කිරීමට උත්සාහ කළ නමුත් විවිධ දන්නා සහ නොදන්නා හේතුන් මත එය කල් තැබුණි.

ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙන තෙක් සියලුම දෙනා දෑස් දල්වා ගෙන සිටින නමුත් කොරෝනා වසංගතය එයට යම් අභියෝගයක් වේ යැයි අපේක්ෂා කිරීමට හැකිය.

දූෂණ වංචා දිගටම මේ ක්‍රීඩාවේ කොටසක් වෙලා තිබ්බා – සංගක්කාර

එහි තිබෙන පළමු බාධාව නම් ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපල වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තවමත් ඔවුන්ගේ සියලුම ගුවන් ගමන් ආරම්භ නොකර තිබීමයි. වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ රට අගුළු දැමීමෙන් පසුව අගෝස්තු මස 1 වැනිදා ශ්‍රී ලංකා රජය විසින් අභ්‍යන්තර සංචාරකයින් සඳහා ගුවන් තොටුපල නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබුණි.

ජුනි මස 24 වැනිදා තරගාවලිය පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ අතර එයට අනුව තරගාවලිය අගෝස්තු 8 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් පසුගිය සති දෙක තුල දී ශ්‍රී ලංකාව තුලින් නැවතත් කොරෝනා රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමඟම ඔවුන්ගේ සැලසුම් සහ ගුවන් තොටුපල නැවත විවෘත කිරීම ගැටලුවක් වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකුට අනුව, තරගාවලියේ ආරම්භය අගෝස්තු 28 දක්වා තවත් සති කිහිපයකින් පසුපසට ගොස් ඇත. එසේම ලැබෙන විශ්වාසදායී මාධ්‍ය වාර්තාවලට අනුව, ශ්‍රී ලංකා රජය විසින් ගුවන් දේශ සීමාව නැවත විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ සැප්තැම්බර් මාසයේ දීයි.

එය එසේවුවහොත්, තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය දැඩි අවිනිශ්චිත මට්ටමක තිබෙන අතර ඉන්දියානු විකාශන සමාගම්වලට ද තරගාවලිය සඳහා තිබෙන උනන්දුව සහ ඇල්ම අඩු වීමට එය හේතුවක් වනු ඇත. මන්ද විදේශීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයක් නොමැති නිසා තරගාවලියේ තිබෙන වටිනාකම සහ ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය අවම වීම ඊට තිබෙන ප්‍රධාන හේතුවයි.  

මෙම තරගාවලියට කණ්ඩායම් පහක් ක්‍රීඩා කරන අතර එක් කණ්ඩායමක සංචිතයට විදේශ ක්‍රීඩකයන් හය දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් නව දෙනෙකු ඇතුළත් වේ. වර්තමාන ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම ක්‍රීඩකයන්ට තරගාවලිය සඳහා ආරාධනා කර ඇති අතර සහභාගී වන ක්‍රීඩකයින් පිළිබඳව අවසන් තීරණයක් තවමත් ගෙන නොමැත. 

එසේම තරගාවලියේ ක්‍රීඩා කළමනාකරණ ඒජන්සිය, රූපවාහිනී අයිතිවාසිකම් සහ කණ්ඩායම් හිමිකාරිත්වයන් සඳහා වූ ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියා පටිපාටිය පසුගිය දා අවසන් වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය ඒ සම්බන්ධව තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

කල් ගිය සුපිරි තරගාවලියට නැවතත් බාලගිරි

එසේම අන්තර් සමාජ දේශීය පළමු පෙළ Tier A  ක්‍රිකට් තරගාවලිය ජූලි මස 14 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද, තරගාවලි ව්‍යුහය තුළ සිදු කරන (Covid-19 නිසා) ලද ඇතැම් සංශෝධන පිළිබඳව විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා සාමාජිකයින්ගේ අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු නිසාවෙන් සැලසුම් කර ගත් දිනවල දී තරගාවලිය ආරම්භ කිරීමට නොහැකි විය.

ඒ සඳහා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි වැඩපිළිවෙළ ගැන තීරණය කරනු ලබන අතිවිශේෂ මහා සභා රැස්වීමේ (AGM) මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහි දී ගනු ලබන අවසන් තීරණ සහ සංශෝධන සම්මත වුවහොත් අගෝස්තු 10 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා  Tier A  ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හැකිය.

එසේම කොරෝනා වසංගත තත්වය නිසා ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද ලබන වසර දක්වා කල් දැමීමට ICCය කටයුතු කළේය. ඒ නිසාවෙන් සැප්තැම්බර් 26 සිට නොවැම්බර් 8 වැනිදා දක්වා IPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් කටයුතු සකසමින් සිටියි.

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් පසුපසට තල්ලු වුනු තරග තුනකින් සමන්විත  ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ද මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීමට වැඩි ඉඩක් ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙසේ හෝ ඉතාමත් ඉක්මනින් නැවතත් රට තුල ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නේ නම් එය ඉතාමත් අගනේය.

වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික කම්පනය සැලකිල්ලට ගෙන, LPL වැනි නවතම තරගාවලියක් සඳහා දේශීය හෝ විදේශීය අනුග්‍රාහකයින් සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තරමක අපහසු වනු ඇත. ඒ නිසා මෙතරම් බාධක සහිතව මේ වසරේ දී LPL තරගාවලිය දියත් වෙයි ද කියා කාලය විසින් තීරණය කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<