පොලිස් පිතිකරණය නාවික පන්දුව හමුවේ බිඳවැ‍ටෙයි

453
SLC Premier League

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය ඇතිව පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දෙවන සතියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (09) ආරම්භ විය. එම තරඟ වල දෙවන දිනය අද (10) පැවැත්විණි.

කුසල්ගේ නොදැවුනු ඉණිම නාවිකයන්ට සවියක් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අධීක්ෂණය ඇතිව පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ…

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරඟය

පනාගොඩ දී ඊයේ (09) ආරම්භ වූ තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය ලංකන් ක්‍රිකට් සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ලංකන් ක්‍රිකට් කණ්ඩායම අද දිනය ආරම්භ කරන විට කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබා සිටි අතර, ලංකන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් රජීව වීරසිංහ අද දිනයේදී නොදැවී ලකුණු 77*ක් ලබාගෙන තම ඉණිම සුපිරි මට්ටමකට ඔසවා තබන ලදි. ඔහුට සහය වූ මදුරංග සොයිසා මනරම් පහර කිහිපයක්ම එල්ල කරමින් ලකුණු 68ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදී නිලාන් ප්‍රියන්ත කඩුලු 4ක් ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන්  දවාගන්නා ලදි.

ලකුණු 85ක අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල ගුවන් හමුදා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 29ක් ලබා සිටියි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 315/10 (86.4): රජීව වීරසිංහ 77*, මදුරංග සොයිසා 68, ලාල් කුමාර 35, නිලාන් ප්‍රියන්ත 4/64, ලහිරැ ශ්‍රී ලක්මාල් 2/40

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දි) – 29/02 (12)

තරගයේ සාරාංශය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 230/10 (73): අචිර එරංග 59, රංග දිසානායක 41, ලහිරු ලක්මාල් 36, නවීන් කවිකාර  5/63, අනුරුද්ධ ප්‍රනාන්දු 3/47

ගුවන් හමුදා කණ්ඩායම ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ පළමු ඉණිමට වඩා ලකුණු 56ක් පසුපසින් පසුවෙයි.


කළුතර භෞතික සංස්කෘතික සමාජය හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරඟය

ඊයේ (09) මග්ගොන සරේ පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

කඩුලු 6ක් දැවී ලකුණු 143ක් ලබා සිටියදී අද දිනය ආරම්භ කල කළුතර කණ්ඩායමේ පළමු ඉණිම දහවල් වන විට අවසන් විය. එහිදී පැතුම් නිස්සංක ලකුණු 64ක්ද, චතුර දමිත් ලකුණු 27ක් ලබා ගන්නා ලදි.

කුරුණෑගල තරුණ කණ්ඩායම තම දෙවන ඉණිම ආරම්භ කරන විට ලකුණු 5ක් ඉදිරියෙන් සිටි අතර ඔවුන්ගේ කණ්ඩායමේ දෙවන ඉණිම ලකුණු 151කට සීමා විය. එහිදී හශාන් ප්‍රභාත් කුරුණෑගල කණ්ඩායමේ දෙවන ඉණිම  වෙනුවෙන් ලකුණු 39ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී ලකුණු 46කට කඩුලු 3ක් දවාගන්නට රසික ප්‍රනාන්දු සමත් විය.

කළුතර කණ්ඩායම දිනය අවසන් වන විට ලකුණු 88ක් ලබාගෙන සිටි අතර, චතුර දමිත් ලකුණු 33ක් ලබා ගන්නා ලදි.

කළුතර භෞතික සංස්කෘතික කණ්ඩායම පළමු ඉණිම – 192/10 (54): පැතුම් නිස්සංක 64, චතුර දමිත් 27,  ෆහාඩ් බාබර් 24, කෞෂික ඒකනායක 5/40, සාරංග රාජගුරු 2/20

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවන ඉණිම – 151/10 (40.4): හශාන් ප්‍රභාත් 39, ධනුෂ්ක ධර්මසිරි 39, රසික ප්‍රනාන්දු 3/46, රමේශ් සෙල්වරාජ් 3/71

කළුතර භෞතික සංස්කෘතික කණ්ඩායම දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – 88/04 (27): චතුර දමිත් 33, මිතුම් ජයවික්‍රම 2/13

තරගයේ සාරාංශය

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 197/10 (55.4): හශාන් ප්‍රභාත් 82, කෞෂික ඒකනායක 46, දර්ශන මහවත්ත 30, රමේශ් සෙල්වරාජ් 6/63

කළුතර කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 69ක් අවශ්‍ය වේ.


ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරඟය

තරගය ඊයේ (09) වැලිසර නාවික හමුදා පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල පොලිස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට නාවික හමුදා ක්‍රීඩා සමාජයට ඇරයුම් කරන ලදි.

ඊයේ දිනය අවසන් වන විට නාවිකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 289ක් ලබා සිටියහ. ඔවුන්ගේ පළමු ඉණිම අද දිනය මැද දී අවසන් වූ අතර, ඔවුන් ලකුණු 376ක් ලබා ගැනීමට සමත් විය. කුසල් එදිරිසූරිය සුපිරි ඉණිමක් දියත් කරමින් ලකුණු 145ක් ලබා ගන්නා ලදි. සුවන්ජි මඳනායක කඩුලු 5ක් පොලිස් කණ්ඩායම වෙනුවෙන් දවාගැනීමට සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජයට පෙර තරගයේ මෙන්ම මෙවරද සාර්ථක පිතිකරණයක නිරත වීමට නොහැකි වූ අතර ඔවුන්ගේ පළමු ඉණිම ලකුණු 96කට සීමා විය. අසේල අලුත්ගේ පොලිස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 23ක් වාර්තා කරන ලදි.

නැවතත් තම දෙවන ඉණිම ආරම්භ කල පොලිස් කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 93ක් ලබා ගන්නා ලදි. සමිත් දුශ්ශන්ත නොදැවී ලකුණු 32*ක් ලබා ගනිමින් දිනය අවසන් වන විට කඩුල්ලේ රැදී සිටියි. මෙම තරගයේ වැඩි වාසිය දැනටමත් නාවික හමුදා කණ්ඩායම වෙත ඇදී පවතී.

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – 376/10 (117.2): කුසල් එදිරිසූරිය 145, බුද්ධික හසරංග 55, ඉශාන් අබේසේකර 46, සමීර සඳමාල් 32, සුවන්ජි මදනායක 5/108

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පළමු ඉණිම – 96/10 (36.1): අසේල අලුත්ගේ 23, මහේෂ් ප්‍රියදර්ශන 22, අශාන් රණසිංහ 3/20

පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම දෙවන ඉණිම (f/o) (දෙවන දිනය අවසානයේ දී) – 93/05 (24): සමිත් දුශ්ශන්ත 32*, අශාන් රණසිංහ 3/16

පොලිස් කණ්ඩායමට ඉණිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 188ක් අවශ්‍ය වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට