ශක්තිය, දරාගැනීම, උපක්‍රමශීලීත්වය සහ වේගය ඉහළින්ම ප්‍රදර්ශනය වන ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව හැඳින්විය හැකිය. මේ වන විට සෑම මහාද්වීපයකම පාහේ ප්‍රචලිත රග්බි ක්‍රීඩාව, සත් සාමාජික (sevens), ලීග් රග්බි (league rugby) සහ රග්බි යූනියන් (rugby union) යනාදී වශයෙන් විවිධ වෙනස්කම් යටතේ පවත්වන්නකි. ඇතැම් විට ඔබගේ මිතුරන් හෝ අසල්වැසියන් සමඟින් ටැප් රග්බි (tap rugby) ක්‍රීඩාවේ යෙදීමෙන් ඔබද විනෝදය ලබන්නට ඇති.

හොඳම එක්දින ජාත්‍යන්තර පිතිකරණයන් 10

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ රටාව, ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ සිත්ගන්නට හේතුවන ප්‍රධාන සාධකය වන්නේ එහි පිතිකරණ අංශයයි…

පෙර සඳහන් කළ රග්බි ක්‍රීඩා රටාවන් අතරින් මෙරට බොහෝ දෙනාගේ ආදරයට හේතුවී ඇති රටාව ලෙස රග්බි යූනියන් (rugby union), එසේත් නැත්නම් කණ්ඩායමකට පහළොස්දෙනෙකු බැඟින් ක්‍රීඩා කරන (15 a side) රග්බි රටාව සඳහන් කළ හැකිය. ක්‍රිකට් ක්‍රීඩාව තුළ මෙන්ම රග්බි ක්‍රීඩාව තුළද ටෙස්ට් මට්ටමක් ඇත. ලොව ප්‍රමුඛ පෙලේ ජාතික කණ්ඩායම් කිහිපයකට (උදා : නවසීලන්ත ඕල් බ්ලැක්ස්) සහ ඒකාබද්ධ කණ්ඩායම් කිහිපයකට (උදා : බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත ලයන්ස්) ජාත්‍යන්තර ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ වරම හිමිව ඇත. රග්බි ලෝක කුසලානයද එවන් ආකාරයේ (rugby union) තරගාවලියකි.

ශ්‍රී ලාංකිකයන්ට වඩාත්ම යෝග්‍ය සහ ශ්‍රී ලාංකිකයන්ට රග්බි ක්‍රීඩාවෙන් වැඩි ගෞරව රැගෙන ආ ක්‍රීඩා රටාව සත්සාමාජික රග්බි රටාව වූවත්, රග්බි යූනියන් රටාවට අනුකූලව පැවැත්වෙන අන්තර් සමාජ සහ පාසල් රග්බි තරගවලට මෙරට වාර්ෂික ක්‍රීඩා කැලැන්ඩරයේ ප්‍රමුඛ තැනක් හිමිව ඇත. ඊට හොඳම උදාහරණය මේ වන විටත් පැවැත්වෙන ‘ඩයලොග් රග්බි ලීග් තරගාවලියයි’.

රග්බි යූනියන් නීති රීති යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම්වල ක්‍රීඩකයන් අතුරින් බොහෝ දෙනෙකු ලොව පුරා ප්‍රචලිතය. මෙය කණ්ඩායම් ක්‍රීඩාවක් වුවත්, උත්සාහක දිනුම්, ප්‍රවර්තන, දඬුවම් පහර, ඩ්‍රොප් ගෝල් සහ දඬුවම් උත්සාහක දිනුම් මඟින් තම තමාගේ කණ්ඩායම් වලට දායකත්වය සැපයූ ක්‍රීඩකයන්ගෙන් මේ දක්වා රග්බි ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් තම කණ්ඩායම් වලට එක්කළ ක්‍රීඩකයන් කවුරුන් දැයි හඳුනා ගනිමු. පැහැදිලිවම මෙහි සියළු දෙනාම පාහේ පසුපෙළ රේඛාවේ ක්‍රීඩකයන්ය.

10 මැතිව් බර්ක් – 878, (ඕස්ට්‍රේලියාව)

Matthew Burke
Photo Courtesy: filmink.com.au

1993 වසරේ සිට 2004 වර්ෂය දක්වා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ මැතිව් බර්ක්, ෆුල් බැක් ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු රග්බි ඉතිහාසය බැබළවූ ක්‍රීඩකයෙකි. 1999 රග්බි ලෝක කුසලානය ඕස්ට්‍රේලියාව වෙත ලබා දීම වෙනුවෙන් එහි අවසන් තරගයේදී ලකුණු 25ක් වාර්තා කරන්නට ඔහු සමත් විය. 2006දී ලෝක රග්බි කණ්ඩායමද නියෝජනය කළ ඔහු, උත්සාහක දිනුම් 29ක්, ප්‍රවර්තන 104ක්, දඬුවම් පහර 174ක් සහ ඩ්‍රොප් ගෝලයක් සමඟින් සිය ජාත්‍යන්තර රග්බි දිවිය තුළදී ලකුණු 878ක් වාර්තා කළේය.

09 පර්සි මොන්ට්ගෝමරි – 893, (දකුණු අප්‍රිකාව)

Photo Courtesy: zimbio.com

1997 සිට 2007 වර්ෂය දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩා කළ පර්සි මොන්ට්ගෝමරි, ෆුල් බැක් ක්‍රීඩකයෙකි. ටෙස්ට් තරග 102කට ක්‍රීඩා කළ ඔහු, දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ රග්බි ක්‍රීඩකයාය. 2007 ලෝක කුසලානය දිනාගත් ස්ප්‍රින්ග්බොක් (දකුණු අප්‍රිකා) කණ්ඩායමේ ෆුල් බැක් ක්‍රීඩකයා වූයේද ඔහුයි. වරෙක පැති විනිසුරුවරයෙකු බිම හෙලීම හේතුවෙන් මාස 18ක තරග තහනමකට ලක්වූ ඔහුට 2003 ලෝක කුසලාන තරගාවලියද අහිමි විය. උත්සාහක දිනුම් 25ක්, ප්‍රවර්තන 153ක්, දඬුවම් පහර 148ක් සහ ඩ්‍රොප් ගෝලයන් 6ක් සාර්ථක කරගනිමින් ඔහු මේ ලැයිස්තුවට එක්වී ඇත.

08 මයිකල් ලීනා – 911, (ඕස්ට්‍රේලියාව)

Photo Courtesy: dailymail.co.uk

1984 සිට 1995 වර්ෂය දක්වා ඕස්ට්‍රේලියානු ෆ්ලයි හාෆ් ස්ථානය තමා සතුකරගෙන සිටි ඔහු, 1993 සිට 1995 වර්ෂය දක්වා කණ්ඩායමේ නායකත්වයද හෙබවීය. එවකට ඕස්ට්‍රේලියානු පසුපෙළ ප්‍රබල ක්‍රීඩකයන් වූ ටිම් හෝරන්, ජේසන් ලිට්ල්, ඩේවිඩ් කැම්පේසි වැනි ක්‍රීඩකයන් වෙත ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් නිර්මාණය කිරීමෙහිලා අනගි කාර්යභාරයක් ඉටුකළ ඔහු 1991 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට රැගෙන ඒමට ප්‍රබල සාධකයක් විය.

07 ඇන්ඩෘ මේර්ටන්ස් – 967, (නවසීලන්තය)

Photo Courtesy: stuff.co.nz

1995 සිට 2004 වර්ෂය දක්වා අභිමානවත් නවසීලන්ත ඕල් බ්ලැක්ස් නිල ජර්සිය පැළඳ, කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ස්ථානයේ ක්‍රීඩා කළ මේර්ටන්ස් උපත ලද්දේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදීය. ළමා කාලය තුළදීම නවසීලන්තයට සංක්‍රමණය වූ ඔහු, 1996දී සිය සුපර් රග්බි (super rugby) දිවිය ආරම්භ කළ අතර, 2005 වර්ෂයේ සුපර් රග්බි අවසන් තරගය අවසන් වන විට තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියේය. උත්සාහක දිනුම් 7ක්, ප්‍රවර්තන 169ක්, දඬුවම් පහර 188ක් සහ ඩ්‍රොප් ගෝල 10ක් සමඟින් ලකුණු 967ක් වාර්තා කරගෙන 7 වන ස්ථානයේ පසුවෙයි.

06 ස්ටීවන් ජෝන්ස් – 970, (වේල්සය)

Photo Courtesy: pinterest.com

උත්සාහක දිනුම් 7ක්, ප්‍රවර්තන 160ක්, දඬුවම් පහර 198ක් සහ ඩ්‍රොප් ගෝල 7ක් සමඟින් වේල්ස් කණ්ඩායමට අභිමානයක් ගෙන ආ ජෝන්ස්, අඩි 6ක උසින් යුත් ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකි. වේල්ස් ජාතික කණ්ඩායමට අමතරව බාබරියන්ස්, බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත ලයන්ස් යන කණ්ඩායම් නියෝජනය කළ ඔහු ටෙස්ට් තරග 110කට ක්‍රීඩා කළේය. 1998 සිට 2011 වර්ෂය දක්වා ඔහුගේ ජාත්‍යන්තර රග්බි දිවිය විහිද ගියේය.

05 ඩියාගෝ ඩොමින්ගස් – 1010, (ආජන්ටිනාව / ඉතාලිය)

Photo Courtesy: altervista.org

ඔහු මෙම ලැයිස්තුවේ සිටින තවත් එක් ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකි. 1989 සිට 2003 වර්ෂය දක්වා ජාත්‍යන්තර රග්බි පිටිය තුළ ක්‍රීඩා කළ ඔහු, ආජන්ටිනා කණ්ඩායමෙන් රග්බි දිවිය අරඹා, පසුව ඉතාලි කණ්ඩායමද නියෝජනය කළේය. උත්සාහක දිනුම් 9ක්, ප්‍රවර්තන 133ක්, දඬුවම් පහර 213ක් සහ ඩ්‍රොප් ගෝලයන් 20ක් සමඟින් රග්බි පිටිය හැඩකළ ඩොමින්ගස්, ටෙස්ට් තරග 76කට සහභාගී වී ඇත.

04 රොනන් ඔ’හාරා – 1083, (අයර්ලන්තය)

Photo Courtesy: odt.co.nz

රග්බි පිටියේ නිර්භීත කණ්ඩායමක් ලෙස සැලකෙන අයර්ලන්ත කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙකු වූ ඔ’හාරා, 2000 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ජාත්‍යන්තර රග්බි පිටියේ සිය දස්කම් ප්‍රදර්ශනය කළේය. උත්සාහක දිනුම් 16ක්, ප්‍රවර්තන 176ක්, දඬුවම් පහර 202ක් සහ ඩ්‍රොප් ගෝල 15ක් වාර්තා කළ ඔහු බ්‍රිතාන්‍ය ලයන්ස් කණ්ඩායමද නියෝජනය කර ඇත. 2003 වසරෙන් පසුව පැවති සික්ස් නේෂන්ස් (six nations) කුසලානයද ඇතුළුව, වසර 19කට පසු අයර්ලන්තයට ත්‍රිත්ව ශූරතාවන් දිනාදීමට ඔහුගේ දක්ෂතාවයන් ඉවහල් විය.

03 නීල් ජෙන්කින්ස් – 1090, (වේල්සය)

Photo Courtesy: pinterest.com

උත්සාහක දිනුම් 11ක්, ප්‍රවර්තන 131ක්, දඬුවම් පහර 248ක් සාර්ථක කරගනිමින් ඩ්‍රොප් ගෝල 10ක්ද සිය ටෙස්ට් රග්බි දිවිය තුළදී වාර්තා කිරීමට සමත් වූ ජෙන්කින්ස්, 1991 සිට 2002 දක්වා වේල්ස් කණ්ඩායමත් බ්‍රිතාන්‍ය ලයන්ස් කණ්ඩායමත් නියෝජනය කළේය. වයස අවුරුදු 19දී වේල්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ භාග්‍ය ලද ඔහු, තරග 28කදී වේල්ස් රග්බි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. රග්බි පිටියේ ලකුණු 1000 පසුකළ ලොව පළමුවැන්නා ඔහුය.

02 ජොනී විල්කින්සන් – 1246, (එංගලන්තය)

Photo Courtesy: imgci.com

1998 සිට 2011 වර්ෂය දක්වා ජාත්‍යන්තර රග්බි පිටියේ සලකුණක් වූ ජොනීගේ තීරණාත්මක ඩ්‍රොප් ගෝලය, රග්බි ලෝලීන්ට කිසිදා අමතක නොවන්නකි. 2003 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේ අතිරේක කාලයේදී එංගලන්ත කණ්ඩායම, ලෝක කුසලානය වෙත ළඟා කළේ ඔහුගේ ඒ අතිදක්ෂ පා පහරිනි. ඩ්‍රොප් ගෝල වාර්තා කිරීමේ ඉහළ දක්ෂතාවයක් සහිත වූ ඔහුගේ ටෙස්ට් දිවිය තුළ ඩ්‍රොප් ගෝල 36ක් වාර්තා වී ඇත. උත්සාහක දිනුම් 7ක්, ප්‍රවර්තන 169ක් සහ දඬුවම් පහර 255ක්ද ඔහු සතුය.ලකුණු 249ක් සමඟින් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන්නේද ඔහුයි.

01 ඩැනියෙල් කාටර් – 1598, (නවසීලන්තය)

Photo Courtesy: pinterest.com

තරග 100කට අධික ප්‍රමාණයක් තුළ ඕල් බ්ලැක්ස් කණ්ඩායම නියෝජනය කිරීම පහසු කටයුත්තක් නොවන බැව් රග්බි ක්‍රීඩාව ගැන උනන්දුවෙන් පසුවන ඕනෑම කෙනෙකු හොඳින් දනියි. ඒ අභියෝගයද ජයගනිමින් මේ වන විටත් (2017-01-10 වන දිනට) ජාත්‍යන්තර රග්බි පිටියේ සිය ආධිපත්‍ය තහවුරු කරගෙන සිටින කාටර්, අවස්ථාවන් නිර්මාණයේදී අනෙකුත් සියළු ක්‍රීඩකයන් පරයා ඉදිරියෙන් සිටියි. උත්සාහක දිනුම් 29ක්, ප්‍රවර්තන 293ක්, දඬුවම් පහර 281ක් සහ ඩ්‍රොප් ගෝලයන් 8ක් සාර්ථක කරගනිමින් 2003 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රීඩා කරන කාටර්, “2012 IRB ක්‍රීඩකයා” බවටද පත්විය. වේගය, උපක්‍රමශීලීභාවය, දක්ෂතාවය සහ නිර්මාණාත්මක බවින් සම්පූර්ණ ඔහුට ඇති එකම අභියෝගය විටින් විට ඇතිවන ආබාධ තත්වයන් පමණි.