එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ රටාව, ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ සිත්ගන්නට හේතුවන ප්‍රධාන සාධකය වන්නේ එහි පිතිකරණ අංශයයි. විවියන් රිචඩ්ස්, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, විරේන්දර් ෂෙවාග්, අරවින්ද ද සිල්වා වැනි වේගවත් පිතිකරුවන් ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට ගෙන යෑමට සමත් වූයේ මෙම ක්‍රීඩා රටාව හරහායි.

හොඳම එක්දින ජාත්‍යන්තර පන්දු යැවීම් 10

දිනය 1971 ජනවාරි 05. එවකට පැවති එකම ජාත්‍යන්තර ක්‍රිකට් රටාව වූ “ටෙස්ට් තරඟයක්” සඳහා ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් සහභාගී වන්නට නියමිතව තිබුණද වර්ෂාව නිසා ප්‍රථම දින තුනම සේදී ගියේය.

1995දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන දෙපල විසින් හඳුන්වා දුන්, ‘ප්‍රථම පන්දු ඕවර 15 තුළ සිදුකරන ප්‍රහාරාත්මක පිතිහරඹය’, අද වන විට ක්‍රිකට් ක්‍රීඩාව ‘විස්සයි විස්සේ සැණකෙළියක්’ බවට පත්වීමට මූලාරම්භයක් වූ බව අවිවාදයෙන්ම සටහන් කළ හැකිය. අද මෙන් එදා පිතිකරුවන්ගේ පහසුව වෙනුවෙන් පන්දු රැකීමේ සීමාවන් නිර්දේශ කර නොතිබුණි. ඔවුනට තිබූ එකම පහසුව වූයේ පළමු පන්දු ඕවර 15 පමණි. එබැවින් 2002 වසරේදී ප්‍රකාශයට පත්කළ මේ ලැයිස්තුව අද වනතෙක් නොවෙනස්ව පවතියි.

ලොව පිළිගත් විස්ඩන් සඟරාව විසින් හොඳම එක්දින ජාත්‍යන්තර පිතිකරණ දක්ෂතාවයන් 100 තෝරාගැනීම සඳහා පහත කරුණු සැලකිල්ලට ගැනිණි.

• පිතිකරු ලබා ගත් පෞද්ගලික ලකුණු සංඛ්‍යාව,
• ප්‍රහාරාත්මක වේගය,
• ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ ප්‍රබලත්වය,
• තණතිල්ලේ ස්වභාවය,
• අනෙකුත් පිතිකරුවන් දැක්වූ දස්කම්,
• අදාළ පිතිකරු පිටියට පැමිණෙන විට ලකුණු පුවරුවෙන් ලැබුණු පීඩනය (උදා: 10/2 සිට ඉනිම ගොඩනැගීම),
• කණ්ඩායමේ මුළු ලකුණු ප්‍රමාණයෙන් අදාළ පිතිකරු ලබා ගත් කොටස,
• පිතිකරු විසින් කනිෂ්ඨ ක්‍රීඩකයන් හසුරුවාගත් අකාරය,
• ලකුණු රැස්කළ ඉනිම කුමන ඉනිමද යන්න,
• අදාළ පිතිකරණයෙන් තරඟයේ තීරණයට සිදු වූ බලපෑම,
• තරඟයේ වැදගත්භාවය (ලෝක කුසලාන අවසන් පූර්ව/අවසන් තරඟ, ප්‍රධාන ICC තරඟාවලි).

වැනි කරුණු සලකාබලමින් ශ්‍රේණිගත කිරීමක් සිදු කරන ලදී.

මේ, එසේ තෝරාගනු ලැබූ ඉතිහාසගත එක්දින ජාත්‍යන්තර පිතිකරණයන් 100න් මුල් 10 ගැන කෙරෙන විස්තරාත්මක හැරී බැලීමකි. සටන්කාමී ශ්‍රී ලාංකික එක්දින පිතිකරුවන් දෙදෙනෙකුට මෙහි ස්ථාන හිමි ය.

10 බ්‍රයන් ලාරා, 153 – බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් පාකිස්තානයට එරෙහිව සාජා හිදී (1992/93).

Courtesy – pinterest.com

සාජා තුන්කොන් එක්දින අවසන් තරඟයේදී බසිද් අලී, පන්දු 79කදී වාර්තා කළ ලකුණු 127ක වේගවත් ඉනිමෙන් පසු පාකිස්තාන කණ්ඩායම කොදෙව්වන් වෙත ලකුණු 285ක ඉලක්කයක් ලබා දෙන්නට සමත් විය. ඒ වන විට සාජා පිටියේදී අවසන් තරඟයක් තුළ කිසිදු කණ්ඩායමක් එවැනි ලකුණු සංඛ්‍යාවක් සාර්ථකව හඹාගොස් නොතිබිණි. නමුත් කොදෙව් දෙවන කඩුල්ල සඳහා පිටියට පිවිසි බ්‍රයන් ලාරා, ෆිල් සිමන්ස් හා එක්ව දෙවන කඩුල්ලට ලකුණු 111ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේ පන්දු ඕවර 15ක් තුළදී ය. එහිදී ලෝක පූජිත වේගපන්දු යවන්නෙකු වූ වකාර් යුනස්ගේ පන්දු ඕවර 10 තුළ, එක් ඕවරයකට ලකුණු 8 බැගින් වාර්තා කිරීමට ලාරා මූලිකත්වය ගත්තේය. ලකුණු 153ක් වාර්තා වූ ලාරාගේ ඉනිමට වැයවූයේ පන්දු 143ක් පමණි.

09 ක්ලයිව් ලොයිඩ්, 102 – බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝඩ්ස් හිදී (1975).

Courtesy – espncricinfo.com

කුළුඳුල් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී කොදෙව්වන්ව ලකුණු 291 සීමාවට ගෙන ගියේ මේ සාර්ථක නායකයාගේ ඉනිමයි. පන්දු 85ක් පමණක් වැයකරමින් වාර්තා කළ ඔහුගේ ලකුණු 102ට අලංකාර පුල් පහරවල් කිහිපයක්ම එක්විය. හතරේ පහරවල් 12කුත් හයේ පහරවල් 2කුත් එම ඉනිමට ඇතුළත්ව තිබිණි. පන්දු යැවීමේදී ද ලකුණු 38කට එක් කඩුල්ලක් වාර්තා කළ ලොයිඩ්, සිය කණ්ඩායමට කුළුඳුල් ලෝක කුසලානයේ අයිතිය ලබා දුන්නේය.

08 අරවින්ද ද සිල්වා, 107* – ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලාහෝර් හිදී (1995/96).

Courtesy -Thecricketmonthly.com

එවකට ලෝක ක්‍රිකට් පිටියේ තරු රහිත කණ්ඩායමක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූර කණ්ඩායමක් බවට ඔසවා තැබුවේ අරවින්දගේ මේ සටන්කාමී ඉනිමය. ලකුණු 242ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ යන දෙදෙනාම ලකුණු 23ක් තුළ දවාගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. අනතුරුව පිටියට පිවිසි අරවින්ද, කිසිදු පන්දු යවන්නෙකු ගණනකට නොගෙන ලකුණු ලබා ගැනීම ඇරඹීය. අසංක ගුරුසිංහ සමඟ එක්ව ලකුණු 125ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඔහු, තරඟය අවසන් වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 107ක් වාර්තා කළේ අලංකාර හතරේ පහරවල් 13ක්ම එල්ලකරමිනි. ලෝක කුසලාන අවසන් තරඟයකදී කඩුළු 3ක්ද, උඩ පන්දු 2ක්ද වාර්තා කරමින් ශතකයක්ද වාර්තා කළ ලොව එකම ක්‍රීඩකයා අරවින්ද ය. තරඟයක් රහිතවම ඕස්ට්‍රේලියාව ජයගනු ඇතැයි ලොව බොහෝ ක්‍රිකට් පණ්ඩිතයන් විසින් විශ්වාස කළ ’96 ලෝක කුසලාන අවසන් තරඟයේදී, ඒ සියළු විශ්වාසයන් පුස්සක් බවට පත්කරමින් ශ්‍රී ලංකාව ලෝක ශූරයන් බවට පත්විය.

07 බ්‍රයන් ලාරා, 169 – බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සාජා හිදී (1995/96).

Brian Lara
Courtesy – rediff.com

සාජා තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයට පියමනින්නට නම් කොදෙව්වන් විසින් අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබූ මේ තරඟයේදී ලාරා ලකුණු 169ක් ලබා ගත්තේ පන්දු 129ක් තුළදී ය. ඊට හතරේ පහර 15කුත් හයේ පහර 4කුත් ඇතුළත් විය. ලකුණු 100 සිට 150 දක්වා යෑමට ඔහුට ඇවැසි වූයේ පන්දු 21ක් පමණි. එහිදී කොදෙව්වන් මුළු ලකුණු 333ක් වාර්තා කළ අතර ශ්‍රී ලංකාව පිළිතුරු ඉනිමේදී ලකුණු 329ක් වාර්තා කිරීමට සමත් විය.

06 ඩේවිඩ් ගවර්, 158 – එංගලන්තය වෙනුවෙන් නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් හිදී (1982/83).

 David Munden
(Photo by David Munden/Popperfoto/Getty Images)

හතරේ පහර 18ක් සහ හයේ පහර 4ක් සමඟින් පන්දු 118කදී ලකුණු 158ක් වාර්තා කළ එංගලන්ත පිතිකරු ගවර්, ඕස්ට්‍රේලියාවේදී පැවති තුන්කොන් තරඟාවලියේදී ලද තෙවන ශතකය මෙයයි. විස්ඩන් සඟරාව පවසන පරිදි මෙය “අතිදක්ෂ, සැහැල්ලු පිතිකරණ ප්‍රදර්ශනයකි”. ඉනිමේ අවසන් පන්දුවේදී හයේ පහරක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී හයේ සීමාව ආසන්නයේදී ලබා ගත් උඩපන්දුවකින් ගවර් දැවීගියේය.

05 සයීඩ් අන්වර්, 194 – පාකිස්තානය වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව චෙන්නායි හිදී (1996/97).

Courtesy – sportskeeda.com

ඉන්දියානු – පාකිස්තානු එක්දින තරඟ තරම් සටන්කාමී අන් තරඟයක් නැති තරම් ය. 50 වැනි ඉන්දියානු නිදහස් සැමරුම වෙනුවෙන් පැවති තුන්කොන් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී මේ ඉනිම වාර්තා විණි. පන්දු 146ක් තුළ වාර්තා වූ අන්වර්ගේ ලකුණු 194, එවකට එක්දින ජාත්‍යන්තර ඉනිමක වාර්තා වූ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව විය. හතරේ පහර 22ක්ද, හයේ පහර 5ක්ද ඇතුළත් වූ ඔහුගේ ඉනිමට අමතරව පාකිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණු ප්‍රමාණය වූයේ ලකුණු 39කි. තරඟයේ ජයග්‍රහණය පාකිස්තානුවන්ට හිමිවිය.

04 කපිල් දේව්, 175* – ඉන්දියාව වෙනුවෙන් සිම්බාබ්වේට එරෙහිව ටන්බ්‍රිජ් වෙල්ස් හිදී (1983).

(Photo by Trevor Jones/Getty Images)

ඩන්කන් ෆ්ලෙචර්ගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ කණ්ඩායම ටෙස්ට් වරම හෝ නොලැබ සිටි අවධියක, ඉතා හොඳ පන්දු යැවීමක නිරතවෙමින් ඉන්දියාවේ මුල් පෙළ කඩුළු 5ම ලකුණු 17ක් තුළ දවාලීය. සිදුවිය හැකිව තිබූ අවමානයෙන් ඉන්දියාව මුදවාගන්නට පිටියට පිවිසි කපිල් දේව් සිය ප්‍රථම එක්දින ශතකය වාර්තා කළේ පන්දු 72ක් තුළදී ය. ඔහුගේ ඉනිම නොදැවී අවසන් වූයේ ලකුණු 175ක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් කරමිනි. හතරේ පහර 16ක් සහ හයේ පහර හයක් සමඟින් ඔහු ඉන්දියානු ඉනිම ලකුණු 266 දක්වා ඉදිරියට ගෙන ගියා පමණක් නොව, තරඟයේ ජයග්‍රහණයද ලබා ගැනීමට සිය කණ්ඩායම මෙහෙය වූයේය.

03 සනත් ජයසූරිය, 189 – ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව සාජා හිදී (2000/01).

Courtesy – images99.com

කොකා කෝලා චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසි වමත් කසකාරයා, ලකුණු 50 පසුකළේ පන්දු 25කිනි. සනත්, ලකුණු ලබා ගැනීමේ සිය සුපුරුදු විලාශයට පැමිණෙනු දුටු ඉන්දියානු පන්දු යවන්නන්ට කිසිවක් සිතාගත නොහැකි විය. ශ්‍රී ලංකාව ලකුණු 299ක් දක්වා රැගෙන ගිය සනත්, පන්දු 161කදී ලකුණු 189ක් ලබා ගනිමින් හතරේ පහර 21කුත්, හයේ පහර 4කුත් එල්ල කොට තිබිණි. ඉන්දියාව තවත් අසරණ කරමින් ඔවුන් මුළු ලකුණු 54කට දවාලූ චමින්ද වාස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්, සදා මතකයේ රැඳෙන ජයග්‍රහණයක් වාර්තා කළේය.

02 විවියන් රිචඩ්ස්, 138* – බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් එංගලන්තයට එරෙහිව (1979).

Courtesy – indiatimes.in

දෙවන ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේදී වාර්තා වූ මෙම ඉනිම, විවියන් රිචඩ්ස්ගේ තවත් එක් වික්‍රමයකි. හතරේ පහරවල් 11කුත් හයේ පහරවල් 3කුත් වාර්තා වූ මෙම ඉනිමේ අවසන් පන්දුවේදී, රිචඩ්ස් විසින් යෝකර් පන්දුවකට ආසන්න පන්දුවකට එල්ලකරන ලද හයේ පහර ඉතාම මනරම් එකක් විය. එංගලන්තය ඉදිරියේ ලකුණු 286ක් වාර්තා කළ කොදෙව්වන් තරඟය ජයගත්තේය.

01 විවියන් රිචඩ්ස්, 189* – බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී (1984).

@Getty Images

මෙම ලැයිස්තුවේ සිටින තෙවැනි බටහිර ඉන්දීය කොදෙව්වාත් රිචඩ්ස් මය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 102/7ක් වශයෙන් අති අවදානම් ස්ථානයක පසුවන මොහොතේදී පිටිය මත සිටි විවියන් රිචඩ්ස් නම් සද්දන්ත පිතිකරුවා, එල්ඩින් බැප්ටිස්ට් හා එක්ව 8වන කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් සටහන් කළේය. 9 වැනි කඩුල්ල දැවීමෙන් පසු මයිකල් හෝල්ඩින් පිටියට පැමිණෙන විට ලකුණු තත්වය 166/9කි. නමුත් එංගලන්තයේ නීල් ෆොස්ටර් සහ ඩෙරික් ප්‍රින්ගල්ට හිතේ හැටියට පහර දුන් රිචඩ්ස්, ඉයන් බොතම් ඉදිරියේදීත් නොසැලෙමින් හුක් සහ පුල් පහරවල් කිහිපයක්ම එල්ලකළේය. අවසන් කඩුල්ලේ සබඳතාවය ලකුණු 106කි. ඉන් හෝල්ඩින්හට ලකුණු 12ක් හිමිව තිබූ අතර, පන්දු 170කට මුහුණ දුන් රිචඩ්ස්, හතරේ පහරවල් 21කුත් හයේ පහරවල් 5කුත් එල්ලකරමින් නොදැවී ලකුණු 189ක් ලබාගෙන, මුළු ලකුණු 272 දක්වා කොදෙව්වන් කැඳවාගෙන ගියේය. කොදෙව්වන් තරඟය ජයගත්තේ ලකුණු 168ක් තුළ එංගලන්ත කණ්ඩායම දවාලමිනි.