පාකිස්තානයේ ක්‍රිකට් තරගයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක්

1066
(TRT World)

පසුගිය සිකුරාදා (7) පාකිස්තානයේ Orakzai දිස්ත්‍රික්කයේ පැවති ක්‍රිකට් තරගයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රේක්ෂකයින් රැසක් රැස්ව සිටි Amn ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇති අතර මාධ්‍ය වාර්තා කළේ ත්‍රස්තවාදීන් ක්‍රීඩා පිටියට එපිටින් සිට ක්‍රීඩාංගණය වෙත වෙඩි තබා ඇති බවයි.

එංගලන්ත පසුපෙළ ප්‍රහාරයෙන් පාකිස්තානය බිමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 වසරේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ජාත්‍යන්තර තරග සත්කාරකත්වයට දීර්ඝ විවේකයක් ලැබුණා. කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය වසර දෙකේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම පාකිස්තාන භූමියේ සාර්ථක ලෙස සංවිධානය කරන්නට යෙදුණේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාවගේ ද විශ්වාසය නැවත දිනා ගනිමින්. 

Covid-19 වයිරසය හේතුවෙන් අතර මඟ අතහැර දමන්නට සිදු වුනත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉතිහාසයේ පළමු වතාවට පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය පාකිස්තානයේ දී ම පවත්වන්නට කටයුතු සම්පාදනය කළේ මේ වසරේ මුල් භාගයේ දීයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ත්‍රස්ත සිදුවීම නිසා ඉදිරියේ දී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත එංගලන්ත හා දකුණු අප්‍රිකානු තරගාවලිවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.

සිම්බාබ්වේ – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය අතහැර දමයි

The News International පුවත් සේවය වාර්තා කරන අන්දමට මාධ්‍ය හා දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් ද ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ එම තරගයට සහභාගී වී තිබෙනවා. ක්‍රීඩාංගණයේ රැඳී සිටි පුද්ගලයෙක් එම පුවත් සේවයට පවසා ඇත්තේ තරගය ආරම්භ කළ වහාම ත්‍රස්තවාදීන් වෙඩි තබන්නට පටන් ගත් බවත් ඒ නිසාම සංවිධායකයින්ට එම තරගය නවත්වනවා හැරෙන්නට වෙනත් කළ හැකි යමක් නොතිබුණු බවත් ය.

“තරගය පටන් ගත් වහාම ත්‍රස්තවාදීන් ක්‍රීඩා පිටිය ළඟ තිබුණු කන්දක් උඩ සිට පිට්ටනියට වෙඩි තියන්න ගත්තා. ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන් වගේම ප්‍රේක්ෂකයින් ජීවිත බේරා ගන්න එතනින් එළියට දිව ගියා” සිද්ධිය ඇසින් දුටුවෙක් පවසා සිටියා.

දඬුවමට පසු ක්‍රිකට් පිටියට එනතෙක් ශකීබ් නොඉවසිල්ලෙන්

එම සිදුවීම නිසා කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැති අතර Orakzai දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරියෙක් වන නසීර් අහමඩ් ඛාන් පවසා තිබුණේ එම ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සිටිනවා යැයි මීට පෙර වාර්තා වී නැති බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ Orakzai පොලිසිය යුධ හමුදාව සමඟ එක්ව ත්‍රස්තවාදීන් හඳුනාගෙන විනාශ කරන්නට මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

CricTracker ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<