ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා බෙන් ස්ටොක්ස්; කෝලිට බලාපොරොත්තු නොවුනු සම්මානයක්

117

2019 වසරේ ICC ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට රැගෙන ඒමට කළා වූ සේවය නිසාවෙන් සහ පසුගිය මාස 12 ක කාලය තුළ දැක්වූ සුපිරි දස්කම් නිසා ICC ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන “සර් ගාර්ෆිල්ඩ් සෝබර්ස් සම්මානය” එංගලන්ත සුපිරි ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් හට හිමිව තිබේ. 

ඉන්දියාවට සුපිරි කෑමක්!

ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් විසින් ඉන්දීය එක්දින…

නවසීලන්තයට එරෙහිව පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී නොදැවුනු ලකුණු 84 ක් රැස්කර ගත් ස්ටෝක්ස්, මෙම සම්මානය සඳහා සලකා බැලූ කාලය පුරා එක්දින තරග 20 ක් තුළදී ලකුණු 719 ක් රැස්කර ගෙන කඩුලු 12 ක් දවා ගැනීමට සමත්ව ඇත. ටෙස්ට් තරග 11 ක් තුළදී ඔහු ලකුණු 821 ක් රැස්කර ගනිමින් කඩුලු 22 ක් දවා ගෙන ඇති අතර අළු බඳුන තරගාවලියේ ටෙස්ට් තරගයක් ජය ගැනීමට ඔහු නොදැවී වාර්තා කළ ලකුණු 135 ත් ගෙවුනු වසරේ දී කැපී පෙනුනි. 

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් “වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” ලෙස සම්මාන දිනා ගත් අතර ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා “වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා” ලෙස සම්මාන දිනා ගන්නා ලදි. ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක දීපක් චහාර් “වසරේ හොඳම විස්සයි විස්ස දක්ෂතාවය” සඳහා සම්මානය දිනා ගත් අතර “වසරේ නැගී එන ක්‍රීඩකයා” ලෙස ඕස්ට්‍රේලියාවේ Marnus Labuschagne සම්මාන දිනා ගත්තේය. ස්කොට්ලන්තයේ කයිල් කෝට්සර් “අර්ධ සාමාජික රටවල හොඳම ක්‍රීඩකයා” ලෙස සම්මාන දිනා ගන්නා ලදි.  

පසුගිය වසරේ දී “වසරේ ක්‍රීඩකයා”, “වසරේ ටෙස්ට් ක්‍රීඩකයා” සහ “වසරේ එක්දින ක්‍රීඩකයා” යන සම්මාන තුනම දිනා ගත් ඉන්දීය නායක විරාට් කෝලි ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පිදෙන සම්මානය දිනා ගන්නා ලදි. ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහිව තරගයේ දී වසරක තරග තහනමකින් පසුව ක්‍රිකට් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත් හට ඉන්දීය ප්‍රේක්ෂකයින් දැක්වූ විරෝධය, අත්පුඩියක් බවට හැරවීමට ඔහු ක්‍රියා කළ නිසාවෙන්. කෝලි “වසරේ එක්දින කණ්ඩායම” සහ “වසරේ ටෙස්ට් කණ්ඩායම” යන කණ්ඩායම් දෙකේම නායකත්වයට ද පත්ව තිබේ. 

එංගලන්ත විනිසුරු රිචඩ් ඉලින්වර්ත් “වසරේ ක්‍රිකට් විනිසුරු” ට හිමි වන “ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය” දිනා ගත් සත්වන විනිසුරු බවටත් පත්විය. මෙය 56 හැවිරිදි ඉලින්වර්ත් මෙම සම්මානය දිනූ පළමු අවස්ථාව යි. 

ICC ප්‍රධාන විධායක මනු ශෝව්නි සියලු ජයග්‍රහකයින් හට මෙසේ තම සුබ පැතුම් එක්කර තිබුනි. 

“ICC ය වෙනුවෙන් මම සියලුම ජයග්‍රහකයින්ට සහ ICC වසරේ කණ්ඩායම් වලට සුදුසුකම් ලැබූ සියලු ක්‍රීඩකයින්ට සුබ පතන්නට කැමතියි.” 

“වසරේ විශේෂතම තරගාවලිය වුනේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. එය නිමා වුනේ හරිම සිනමාකෘත විදියට. බෙන් ස්ටොක්ස් එම තරගයේ දී ඉතා විශේෂ අන්දමින් ක්‍රීඩා කළ අතර ඒ නිසාම ඔහුට සර් ගාර්ෆිල්ඩ් සෝබර්ස් සම්මානය ලැබිය යුතුමයි.” 

28 හැවිරිදි ස්ටෝක්ස් තමන්ට හිමිවූ සම්මානය නිසා ඉතාම සතුටට පත්ව සිටි අතර ඔහු සිය කණ්ඩායමේ සගයින්ට මෙන්ම පුහුණුකරුවන්ට ද තම ස්තූතිය පුදකර සිටියේය. 

“වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන සර් ගාර්ෆිල්ඩ් සෝබර්ස් සම්මානය හිමිකර ගැනීමට හැකි වීම සතුටක්. ගෙවුනු මාස 12 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ඉතා විශේෂ වුනා වගේම ICC ක්‍රිකට් ලෝක කුසලානයත් පළමු වරට දිනා ගන්නට ලැබීම ඉතා විශේෂයි.” 

“මට සෑම විටම සහය දුන් මගේ කණ්ඩායමේ සගයින්ට සහ පුහුණුකරුවන්ට මං මේ සම්මානය පුදකර සිටිනවා. ඔවුන්ගේ සහය නොමැතිව මට මේ වගේ ප්‍රධාන සම්මානයක් කෙලෙසකවත් දිනා ගන්නට ලැබෙන්නේ නැහැ.” 

“ගෙවුනු මාස 12 මාගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම කාලය යි. මම සිතනවා අපිට දිගටම සාර්ථක වෙන්නට හැකි වෙයි කියලා.” 

අවිනිශ්චිත තරගාවලිය නිශ්චිත වේ

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය පිළිබඳව…

ටෙස්ට් තරග 12 ක් තුළදී කඩුලු 59 ක් දවා ගත් පැට් කමින්ස්, ICC ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයට පත්වන්නට සමත් වුනා . ඒ නිසාම ඔහු ස්මිත් සහ Labuschagne පසු කරමින් “වසරේ ටෙස්ට් ක්‍රීඩකයා” සම්මානය ද හිමිකර ගැනීමට සමත් විය. 

“වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි වීම පිළිබඳව මට ඉතා සතුටුයි. මම හිතුවේ නැහැ එම සම්මානය ලැබෙයි කියා.” 

“මම මගේ කණ්ඩායමට ණයගැතියි. මෙය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ඉතා සාර්ථක කාලයක් වුනා. අළු බඳුන ඕස්ට්‍රේලියාවේම රඳවා ගැනීමට ලැබීම සතුටක්.” යයි තම අදහස් දක්වමින් පැට් කමින්ස් පවසා සිටියේය. 

“වසරේ එක්දින ක්‍රීඩකයා” ලෙස සම්මාන දිනූ රෝහිත් ශර්මා තරග 28 ක් තුළ ලකුණු 1409 ක් රැස්කර ගැනීමට සමත්ව ඇති අතර එයට ශතක හතක් ද ඇතුළත් විය. 

“මම ICC යට වගේම ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට ද ස්තූති කරන්නට කැමතියි. 2019 වසරේ කණ්ඩායමක් විදියට අපි දැක්වූ දක්ෂතා පිළිබඳව අපිට ඉතා සතුටුයි.” යයි රෝහිත් ශර්මා පවසා සිටියේය. 

දීපක් චහාර් පවසා සිටියේ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් ලකුණු හතකට කඩුලු හයක් දවා ගැනීම තමාගේ සුන්දරම මතකයක් වනු ඇති බවයි. 

“මම හරිම සතුටුයි මේ සම්මානය ලැබීම පිළිබඳව. මම ICC යට සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූති කරන්නට කැමතියි මට අවස්ථාව ලබා දුන්නට. මට ඒ දක්ෂතාව ඉතා විශේෂ දෙයක්. මට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ලැබුනේ ගොඩක් කාලයකට පසුවයි. ඒ නිසාම ලකුණු හතකට කඩුලු හයක් දවා ගැනීමට හැකි වීම මට ඉතා විශේෂයි.” 

Labuschagne ටෙස්ට් තරග 11 ක් තුළදී ලකුණු 1104 ක් රැස්කර ගත් අතර වසර ආරම්භයේ දී ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල 110 වන ස්ථානයේ සිටි ඔහු වසර අවසන් කළේ සිව්වන ස්ථානයේ වීම විශේෂත්වයක්. 

“එය හරිම සතුටුදායකයි. මම නිහතමානීව සංතෝෂ වෙනවා. ඉතා හොඳ කණ්ඩායම් ලැබීම අති විශිෂ්ටයි. ඉතා හොඳ කාලයක ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මට ඉතා සතුටුයි.” 

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි තමා ක්‍රිකට් ජීව ගුණය සුරැකීම සඳහා වන සම්මානය තමාට ලැබීම පිළිබඳව සිය පුදුමය පළකර තිබුනි. 

“මට පුදුමයි මට ඒ සම්මානය හිමි වුනු එක ගැන. වසර ගණනක් විවිධ සිදුවීම් වලදී වරදකරු වීමෙන් අනතුරුව මම හිතුවේ නැහැ එහෙම සම්මානයක් ලැබෙයි කියලා. ඒ වේලාවේ මට හොඳින්ම වැටහුනා ඔහු සිටින තත්වය. මම හිතනවා එවැනි තත්වයක සිටින අයෙකුගෙන් වෙනත් වාසි ගැනීම අසාධාරණයි. ඔබ ප්‍රතිවාදීන් සමඟ පිටිය මැද දී වචන හුවමාරු කර ගැනීම සාමාන්‍ය දෙයක්. නමුත් ක්‍රීඩකයින්ට හූ කීම අසාධාරණයි. මම එය අනුමත කරන්නේ නැහැ.” 

“ක්‍රිකට් ක්‍රීඩා කරන රටක ප්‍රේක්ෂකයින් ලෙස අපේ රසිකයින් එවැනි ක්‍රියා නොකළ යුතුයි. අපි ක්‍රීඩකයින් වශයෙන් ඒ පිළිබඳව වගකියන්න ඕනේ. ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කරන්න ඕනේ, නමුත් ප්‍රතිවාදීන්ට හැඟීම්බර විදියට බාධා කරන්න හොඳ නැහැ.” 

පාකිස්තානය හමුවේ සිංහ පැටව් පසුබසියි!

ශ්‍රී ලංකා යොවුන් පිළ මුහුණ දෙන දැවැන්තම අභියෝගය වන 19න් පහළ ලෝක කුසලාන…

ස්කොට්ලන්තයේ කයිල් කෝට්සර් අර්ධ සාමාජික රටවල “වසරේ ක්‍රීඩකයා සම්මානය” දිනා ගත්තේ එක්දින තරග 18 කදී ලකුණු 880 ක් සහ විස්සයි විස්ස තරග 22 කදී ලකුණු 702 ක් රැස්කර ගැනීමට සමත් වෙමිනි. 

“මෙම සම්මානය දිනා ගැනීමට ලැබීම සතුටක්. මම ඉතා පුදුම වුනා. මම එය බලාපොරොත්තු වුනේ නැහැ. 2019 වසර පුරාවට මට සහය දුන් හැමෝටම මං ස්තූති කරන්නට කැමතියි. මගේ පවුල, මගේ යාළුවෝ සහ ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට මම ස්තූති කරන්නට කැමතියි. ස්කොට්ලන්තයේ ක්‍රිකට් පාලක මණ්ඩලයට වගේම ප්‍රේක්ෂකයින්ටත් මම ස්තූති කරන්නට කැමැතියි.” ලෙස කෝට්සර් තම අදහස් දක්වා සිටියේය. 

විනිසුරු ඉලින්වර්ත් පවසා සිටියේ තමන් මෙම සම්මානය පිළිබඳව ඉතා සතුටු වන බවයි. 

“වසරේ විනිසුරු සම්මානය දිනා ගැනීමට ලැබීම මට ගෞරවයක්. විශිෂ්ට විනිසුරුවන් ගොන්නක් අතරට එකතු වෙන්නට ලැබීම සතුටුයි.”

“විනිසුරුවරුන් තනිවම වැඩ කරන බව පෙනුනත්, කණ්ඩායමක් විදියට ගොඩක් දේවල් කරනවා. මම මගේ අනික් විනිසුරු සගයින්ට ස්තූති කරන්නට කැමතියි. මට ගොඩක් උදව් කිරීම පිළිබඳව මගේ පුහුණුකරු ඩෙනිස් බර්න්ස්ට ස්තූති කරන්නට කැමතියි.” 

ICC ක්‍රිකට් සම්මාන (පිරිමි) 

  • වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන සර් ගාර්ෆිල්ඩ් සෝබර්ස් සම්මානය බෙන් ස්ටෝක්ස් (එංගලන්තය
  • වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා පැට් කමින්ස් (ඕස්ට්‍රේලියාව) 
  • වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – රෝහිත් ශර්මා (ඉන්දියාව) 
  • වසරේ විස්සයි විස්ස හොඳම දක්ෂතාවය – දීපක් චහාර් (ඉන්දියාව) 
  • වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – Marnus Labuschagne (ඕස්ට්‍රේලියාව) 
  • අර්ධ සාමාජික රටවල හොඳම ක්‍රීඩකයා – කයිල් කොට්සර් (ස්කොට්ලන්තය) 
  • ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම උදෙසා හිමි වන සම්මානය – විරාත් කෝලි (ඉන්දියාව) 
  • වසරේ ක්‍රිකට් විනිසුරුට හිමි වන ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය රිචඩ් ඉලින්වර්ත් 

ICC වසරේ ටෙස්ට් කණ්ඩායම – මයන්ක් අගර්වාල්, ටොම් ලේතම්, Marnus Labuschagne, විරාට් කෝලි (නායක), ස්ටීව් ස්මිත්, බෙන් ස්ටෝක්ස්, බී. ජේ වොට්ලින් (කඩුලු රකින), පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, නීල් වෙග්නර්, නේතන් ලයන්. 

ICC වසරේ එක්දින කණ්ඩායම – රෝහිත් ශර්මා, ෂයි හෝප්, විරාට් කෝලි (නායක), බාබර් අසාම්, කේන් විලියම්සන්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර් (කඩුලු රකින ක්‍රීඩක), මිචෙල් ස්ටාර්ක්, ට්‍රෙන්ට් බෝල්ට්, මොහොමඩ් ෂාමි, කුල්දිප් යාදව්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<