ලේක්විව් සිංහයන් අසරණ කරමින් බම්බා බ්‍රිගේඩ් ගිණුම අරඹයි

117

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු තරගයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජයට පත්කළ සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම අද (04) දිනයේ දී සමත්කම් දැක්වීය. සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ අවසන් ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 50 – 14ක් ලෙසිනි. 

2020 ශූරතාවයට බම්බලපිටියේ සාන්තුවරුන්ගේ සූදානම

2018, 2019 වසර දිවිත්වයම පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියමින් මයිලෝ ජනාධිපති කුසලානය අඛණ්ඩව…..

පසුගිය තරගවාරයේ දී ලීග් ශූරතාවය අභියසටම පැමිණි නමුත් අවාසනාවන්ත අයුරින් එම අවස්ථාව පීතරයින් අතින් ගිලිහී ගියේ ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගයේ දී තෝමසුවන් ඉදිරියේ ලද අනපේක්ෂිත පරාජය නිසාවෙනි. කෙසේ නමුත් පිට පිට දෙවතාවක්ම මයිලෝ පිළිමළුන් පිටු දැකීමේ ශූරතාවය තම පාසල වෙත රැගෙන යමින් 2019 තරගවාරය අවසන් කළ “බම්බා බ්‍රිගේඩ්” ක්‍රීඩකයින් මෙවර සටන් බිමට පිවිසියේ කෙසේ හෝ ලීග් කිරුළ දිනා ගැනීමේ අරමුනෙනි. 

2013 වසරෙන් අනතුරුව පාසල් රග්බි පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහසත් වූ නමුත් 2019 තරගාවරය සාර්ථක සටහනකින් අවසන් කළ ධර්මරාජ ක්‍රීඩකයින් B කාණ්ඩයෙන් A කාණ්ඩය වෙත සුදුසුකම් ලබා ගත්තේ නම් දැරූ ප්‍රබල කණ්ඩායම් රැසකටම රතු එළියක් දල්වාලමිනි. 

පීතර කණ්ඩායමේ ඩිල්ශාන් මධුෂ්ක පන්දුව උඩු ගුවනට මුසු කරමින් තරගයේ ආරම්භය සනිටුහන් කළ අතර පළමු මිනිත්තු කිහිපය තුළදීම ඉතාමත් ප්‍රවේගකාරී තරග රටාවකට අවතීර්ණ වූ සාන්ත පීතර ක්‍රීඩකයින් ප්‍රතිවාදී ආරක්ෂක වළල්ල වෙත දැඩි අභියෝගයක් එල්ල කළේ ඔවුන් සතු ශක්තිය මනාවට විද්‍යාමාන කරමිනි. 

ලකුණු පුවරුවට පණ පෙවීමේ කාර්ය සඳහා තව දුරටත් කාල වේලා නොගත් සාන්තුවරුන් මීටර 5 රේඛාව අභියසින් හිමි වූ line out අවස්ථාවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළේ අකලංක පෙරේරා ඇතුළු ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ සුසංයෝගයෙනි. (පීතර 05 – 00 ධර්මරාජ) 

පීතරයින් වෙනුවෙන් දිනයේ ප්‍රථම වතාවට තම ලකුණු මැෂිම ක්‍රියාත්මක කළ ඉෂාන් ප්‍රනාන්දු ධවල රේඛාව අභිබවා දිව ගියේ ධර්මරාජ ආරක්ෂක වළල්ල අසරණ කරමිනි. මෙවර තරගවාරයේ තම සුපුරුදු රාජකාරියෙහි වැඩභාර ගත් තෙනුක නානායක්කාර අමතර ලකුණු ද්විත්වයේ වාසිය හිමිකර දුන්නේ මුළු ලකුණු තත්වය 12 දක්වා ඉහළ නංවාලමිනි. (පීතර 12 – 00 ධර්මරාජ) 

50 වැනි අවුරුද්ද කුසලානය එක්ක සමරන්නට එන ලේක්වීව් සිංහයෝ

අවසන් වරට B කාණ්ඩයේ සිට A කාණ්ඩයට පැමිණි වතාවේ මහනුවර ධර්මරාජ විද්‍යාලය A කාණ්ඩයේ……

රාජන්ස් ඉදිරිපෙළ පීතර ආක්‍රමණයන්ට එරෙහිව යම් ප්‍රතිරෝධයක් ගොඩ නැඟීමට උත්සාහ කළ නමුත් ඔවුන්ගේ එම වෑයම අපතේ හරිමින් සෙනුර පෙරේරා අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගය තව තවත් සත්කාරකයින් දෙසට හරවාලමිනි. තෙනුක නානායක්කාර ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ඔහුට අනගි සහයක් ලබා දුන්නේය. (පීතර 19 – 00 ධර්මරාජ)

ලකුණු ඉඩෝරයෙන් හෙම්බත්ව සිටි ධර්මරාජයින් හට මහත් අස්වැසිල්ලක් ගෙන දුන් බනුල විතානගේ ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් තිදෙනෙකු පසු කරමින් උත්සාහක දිනුම් රේඛාවට ඔබ්බෙන් පන්දුව පතිත කළේ තම කණ්ඩායමට අවශ්‍ය කර තිබූ එම පන්නරය නැවතත් ලබා දෙමිනි. සෞම්‍ය විජේසිරි නිසියාකාරව ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වය හිමිකර දීමට සමත් විය. (පීතර 19 – 07 ධර්මරාජ) 

ධර්මරාජ කණ්ඩායමේ තෙනුක වික්‍රමසිංහ දිගින් දිගටම Off Side වරදට හසුවීම නිසාවෙන් කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් තාවකාලිකව ඉවත් කිරීමට විනිසුරු ගයාන් යටවර පියවර ගත්තේය. එයින් එක් ක්‍රීඩකයෙකු නොමැති වීමේ වාසිය උපරිමයෙන් භුක්ති විඳි පීතරයින්, මාලිංග ෂෙශාන්ගේ සුරතින් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කළේ පළමු අර්ධය අවසන් කරමිනි. (පීතර් 26 – 07 ධර්මරාජ) 

පළමු අර්ධය : සාන්ත පීතර විද්‍යාලය (4T, 3C) 26 – 07 (1T, 1C) ධර්මරාජ විද්‍යාලය

විවේක කාලයෙන් අනතුරුව හොඳින් ප්‍රතිසංවිධානය වී පැමිණි ධර්මරාජ ක්‍රීඩකයින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් වෙත යම් පීඩනයක් එල්ල කිරීමට වෑයම් කළ ද පීතරයින් වෙනුවෙන් කැපී පෙනෙන තරග රටාවක නියැළුණු ඉෂාන් ප්‍රනාන්දු දිනයේ තම දෙවන උත්සාහක දිනුම ද කණ්ඩායම වෙනුවෙන් වාර්තා කර දුන්නේ ලකුණු පරතරය තවදුරටත් ඉහළ නංවාලමිනි. (පීතර 31 – 07 ධර්මරාජ) 

ධර්මරාජ බලාපොරොත්තු යම්තාක් දුරකට ඉහළ නංවාලමින් තරංග දිලීප ලකුණු දඩයමේ නිරත වූයේ දිනයේ දෙවන උත්සාහක දිනුමේ සතුට සැමරීමට තම ආධාරකරුවන් හට ඉඩ සලසා දෙමිනි. සෞම්‍ය විජේසිරි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ දිලීපගේ වෑයම සම්පූර්ණ කරමිනි. (පීතර 31 – 14 ධර්මරාජ) 

ඉන් අනතුරුව ධර්මරාජ කණ්ඩායමෙන් සම්පූර්ණයෙන්ම පාහේ තරගය උදුරා ගත් පීතර ඉදිරිපෙළ ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් ප්‍රතිවාදීන් හට සංග්‍රහ කළේ ප්‍රසාද ලකුණුක් ද අතැතිව තරගවාරයේ තම පළමු තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරමිනි. යශෝධ මෙන්ඩිස්, ෂෙහාන් ජෝර්ජ් සහ ඉෂාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ලාභීන්ගේ නාම ලේඛනය අතරට තම නාමයන් ඇතුළත් කර ගැනීමට සමත් විය. වින්ද්‍ය ද මැල් ප්‍රවර්තනයන් දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු හතරක් එකතු කිරීමට සමත් වූවේය. (පීතර 50 – 14 ධර්මරාජ) 

අවසන් ලකුණු තත්වය : සාන්ත පීතර විද්‍යාලය (8T, 5C) 50 – 14 (2T, 2C) ධර්මරාජ විද්‍යාලය 

Thepapare.com තරගයේ වීරයා – සෙනුර පෙරේරා (සාන්ත පීතර විද්‍යාලය) 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ: 

සාන්ත පීතර විද්‍යාලය – අකලංක පෙරේරා (1T), ඉෂාන් ප්‍රනාන්දු (3T), තෙනුක නානායක්කාර (3C), සෙනුර පෙරේරා (1T), මාලිංග ෂෙශාන් (1T), යශෝධ මෙන්ඩිස් (1T), ෂෙහාන් ජෝර්ජ් (1T), වින්ද්‍ය ද මෙල් (2C) 

ධර්මරාජ විද්‍යාලය – බනුල විතානගේ (1T), තරංග දිලීප (1T), සෞම්‍ය විජේසිරි (2C) 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<