”ඒක මෙතන කියන්න බැහැ. අනිත් කැප්ටන් ලා ඉන්නවනේ.” – චන්දිමාල්

1555

ශ්‍රී ලංකාවේ 70  වන නිදහස් සමරුවට සමගාමීව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භයට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

[rev_slider LOLC]

ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි ම තරග රටාවේ සැණකෙළි සිරිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය උණුසුම් කරන්නට ඇති සූදානම පිළිබඳ ඊයේ පස්වරුවේ මාධ්‍ය දැනුම්වත් කෙරුණේ කණ්ඩායම් ත්‍රිත්වයේම නායකයන්  සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවක දී යි.

නිදහස් සටනේ වාසිය කාටද?

අවසන් වරට සහභාගී වුන එක්දින තරග 29න් 23ක්ම පරාජයට පත්ව සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට..

මෙම උත්සව සභාව අමතමින් නිදහස් කුසලාන තරගාවලිය සඳහා කෙරුණු ආරාධනයට සුභවාදී ප්‍රතිචාර දැක්වූ ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් සාදරයෙන් පිළිගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා, මෙම තරගාවලියේ ඇති සුවිශේෂී භාවය පිළිබඳ පැහැදිලි කරන්නට ද අමතක කළේ නැත.

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් තවදුරටත් පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් ද තම ප්‍රතිවාදී කණ්ඩායම් මෙරටට පිළිගත් අතර, තරගකාරී ක්‍රිකට් සැණකෙළියක් සඳහා සියල්ලන්ට ම ආරාධනා කරන ලදි.

ඉන්දීය කණ්ඩායම පසුගිය කාලයේ පැවති අවිවේකී තරග කාල සටහන සහ ඉදිරියේ මුහුණ දීමට නියමිත ඊට නොදෙවෙනි කාර්ය බහුල කාල පරිච්ඡේදය හේතුවෙන් නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, ජස්ප්‍රිත් බුම්රා, භුවනේශ්වර්  කුමාර්, හාර්දික් පාණ්ඩ්යා සහ කුල්දීප් යාදව් වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන් නොමැතිව ශ්‍රී ලංකාව බලා පියාසර කළේ කණ්ඩායම් නායකත්වය රෝහිත් ශර්මා වෙත පවරමින්.  

කණ්ඩායමේ අවශ්‍යතාවය මත විවිධ ක්‍රීඩකයන් විවේක ගන්වන්නට සිදු වෙනවා. කුමන ක්‍රීඩකයන් නොසිටියත් නායකත්වය පැවරෙන ඕනෑම මොහොතක කණ්ඩායම වෙනුවෙන් එම වගකීම ඉටු කිරීම මට ඉතා විශාල ගෞරවයක්. නායකත්වය පැවරෙන සෑම අවස්ථාවක දී ම, ප්‍රබල ක්‍රීඩකයන් නොමැති කණ්ඩායමක් හිමි වීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට රෝහිත් ශර්මා  පිළිතුරු දුන්නේ එලෙසයි. පළමු තෝරා ගැනීම් නොමැති වුව ද, කලකට පසු කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගත් සුරේෂ් රයිනා මෙන්ම ජාත්‍යන්තර තරග බිමට නවකයන් වුවත් අයි. පී. එල්. තරග බිමේ පීඩනය මනාව හඳුනන දීපක් හූඩා, විජේ ශංකර්, වොෂිංටන් සුන්දර් වැනි තුන් ඉරියව් ක්‍රීඩකයන් ද, වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සහ කඩුලු රැකීමේ හැකියාව ද ඇති පිතිකරු රිෂබ් පාන්ට් ඇතුළු ඉන්දීය කණ්ඩායමේ ශක්තිය කිසිසේත්ම අවතක්සේරු කළ නොහැක.

බංග්ලාදේශ කණ්ඩායමට ද මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ නායකත්වය සඳහා ඔවුන්ගේ ප්‍රථම තේරීම වන ෂකීබ් අල් හසන් නොමැතිවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අතරතුර ආබාධයකට ලක් වූ ෂකීබ් නිදහස් කුසලාන සංචිතයේ නායකයා ලෙස නම් කරන්නට එරට තේරීම් කමිටුව කලින්  පියවර ගෙන තිබුණ ද, පසුව නිවේදනය කළේ ඔහුගේ සහභාගීත්වය මෙම තරගාවලිය සඳහා නොලැබෙන බැවින් මහමදුල්ලා මෙම තරගාවලිය සඳහා ද, නායකත්වයේ වගකීම ඉටු කරනු ඇති බවයි.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නොමැති වීම සහ මව් රටේ ක්‍රීඩා කිරීමේ වාසිය හේතුවෙන් නිදහස් කුසලාන තරගාවලියේ ශූරතාවට අනෙක් කණ්ඩායම් වලට වඩා අඟල් කිහිපයක් ඉදිරියෙන් සිටීමේ සුළු වාසියක් ශ්‍රී ලංකාව  සතු බව විචාරකයන්ගේ මතයයි. කෙසේ වෙතත් නායක දිනේෂ් චන්දිමාල් දරන්නේ අදහසක්.

අපේ කණ්ඩායම හොඳ මානසිකත්වයක ඉන්නවා. විශේෂයෙන්ම බංග්ලාදේශ තරගාවලියේ ලැබූ සාර්ථකත්වය නිසා. නමුත් මේ අලුත් තරගාවලියක්, අලුත් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ දී පළමු තරගය ක්‍රීඩා කරන ආකාරය ඉතා වැදගත් වනවා. අපි දින 10ක පමණ සාර්ථක පුහුණුවකට සහභාගී වුනා. අපේ ක්‍රීඩකයන් මේ අභියෝගය සඳහා සූදානම්.

’97 නිදහස් කුසලානයේ සොඳුරු මතකයන්

නිදහස් කුසලානය… මෙය කනට හුරු නාමයකි. කාටද? යන එන අතරමගදී පොකට් රේඩියෝව..

බංග්ලාදේශ පන්දුවාර 20 තරගාවලියේ දී තමන් පිතිකරණ ලැයිස්තුවේ පහළට පැමිණීම පෞද්ගලික T20 පිතිකරණ දක්ෂතා එතරම් ඉහළ මට්ටමක නොපැවතීම හේතුවෙන් මෙන්ම වමත් – දකුණත් පිතිකරණ සංයෝජනයක් පවත්වා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් ද සිදු කළ උපක්‍රමයක් බව චන්දිමාල්  අනාවරණ කරන ලදි. නිදහස් කුසලාන තරගාවලියේ දී එම සැලසුම්ම ක්‍රියාත්මක කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට චන්දිමාල් මෙසේ පිළිතුරු දුන්නේ රැස්ව සිටි සියල්ලන්ගේ මුවට සිනාවක් ද එක් කරමින්.

ඒක මෙතන කියන්න බැහැ. අනිත් කැප්ටන් ලා ඉන්නවනේ.

නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වන අතර මෙම තරගාවලියට අදාළ සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි. මූලික වටයේ දී සියලුම කණ්ඩායම් දෙවර බැගින් සිය ප්‍රතිවාදීන් මුණ ගැසීමට නියමිත අතර එම තරග 6 අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම පසුවන කණ්ඩායම් දෙක මාර්තු 18 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<