චමල්ක රන් සටනේ ශතකය මඟ හැර ගනී

115

මොරටු පුරවරය රනින් බැබළෙන මොරටු විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වෙන 66 වැනි රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ තීරණය සම්බන්ධයෙන් දෙපිලේම ක්‍රීඩකයන් අතර දෙගිඩියාවක් ඇති කරමින් අද (16) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කෙරුණි.

හැටහය වැනි මොරටු – සුමංගල මහා ක්‍රිකට් සටන ලබන 16 වැනිදා

මොරටුව මොරටු විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන මොරටු මහා ක්‍රිකට්…

කාසියේ වාසිය දිනූ ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය මොරටු ක්‍රීඩකයන් වෙත ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔවුන් පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 210ක් රැස් කර ගත්හ. එම ලකුණු ප්‍රමාණය වඩාත් ප්‍රමාණවත් බැව් සිතූ බැවින් ඔවුන් කඩුලු 9ක් දැවී තිබිය දී තරගය අත්හිටුවමින් ප්‍රතිවාදීන්ට ඉනිම විවෘත කළේය. දිනය අවසාන වන විට ශ්‍රී සුමංගල විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබා සිටියේය.

මොරටු විද්‍යාලයීය ඉනිමේ දී වඩාත් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ චමල්ක ප්‍රනාන්දුය. ඔහු ලකුණු 97ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙසින් දැවී ගියේය. දකුණතින් පිත්ත හැසිර වූ චමල්ක තමන්ගේ ඉනිමට පන්දු 197ක් වැය කළ අතර ඉන් පන්දු 7ක්ම සීමාවෙන් එපිටට යැවීමට සමත් විය.

මීට අමතරව නායක ෂෙහද සොයිසා ලකුණු 44ක් ලබා ගනිමින් තමන්ගෙන් වාර්ෂික මහා ක්‍රිකට් තරගයක දී ඉටු විය යුතුකම්  ඉටු කළේය. නමුත් ඔහුගේ ඉනිම තවත් ඉවසිලිමත් වී නම් මේ ලකුණු පුවරුව මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.

කෙසේ වෙතත් තරගයේ දිවා විවේකය වෙද්දී මොරටු ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 111ක් ලබා ප්‍රබල තත්ත්වයේ පසුවූහ.

ශක්තිමත් වෙන මොරටු ඉනිම යම් තරමකින් හෝ මන්දගාමී කළේ වමතින් දඟපන්දු යැවූ අනුක ජයසිංහ ය. ඔහු මොරටු ඉනිම අවසාන වෙද්දී ලකුණු 54කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව නිපුණ දේශාන් සහ තරණ ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ දිනය අවසාන වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබා ගත්හ. එම ඉනිමේ දී ඉසුරු උමයංග නොදැවී ලකුණු 25ක් ලබා සිටියේ ය. පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන නදිත් මිශේන් ලකුණු 08කට කඩුලු 2ක් දවා ගත්තේය.

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

මොරටු විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 210 (84.0) ෂෙහද සොයිසා 44, චමල්ක ප්‍රනාන්දු 97, නිශාන් ප්‍රනාන්දු 19, අනුක ජයසිංහ 4/54, නිපුණ දේශාන් 2/27, තරණ ද සිල්වා 2/36

ශ්‍රී සුමංගල විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 42 (12.0) ඉසුරු උමයංග නොදැවී 25, නදිත් මිශේන්ද්‍ර 2/08

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<