කාන්තා රග්බි කතාවේ පළමුවැන්නිය “රුක්ෂානි”

261

ශ්‍රී ලංකා කාන්තා රග්බි ඉතිහාසයේ තුන් ඈඳුතු ඉසව්වේ පළමුවැනියා වූයේ ඉන්දිකා රුක්ෂානි ආරියසේන ය. පළමු සත් සාමාජික රග්බි කාන්තා නායිකාව, පළමු කාන්තා රග්බි විනිසුරුවරිය සහ පළමු ජාත්‍යන්තර රග්බි විනිසුරුවරිය එම ඉසව්වන්ය. ඊට අමතරව පළමු ජාත්‍යන්තර ශූරතාව දිනා දුන් නායිකාව සහ ජාත්‍යන්තර තරගයක පළමු උත්සාහක දිනුම් වාර්තා කරන්නේ ද ඇයයි. මේ ඇයගේ කතාවයි.

දකුණු අප්‍රිකාවට අභියෝග කළ අපේ රග්බි වීරයෝ

මීට වසර 27කට පෙර එනම් 1993 වසරේ සිංගප්පූරු ක්‍රිකට් ……….

රුක්ෂානිගේ ගම අවිස්සාවේල්ලේ, දෙහිඕවිට, දෙබෑගම කියන අති දුෂ්කර ප්‍රදේශය.  සිව්දෙනෙක්ගෙන් යුත් පවුලේ පළමුවැනියා වෙන්නේ රුක්ෂානි. රුක්ෂානිට බාල නංගිලාම තිදෙනෙක්. තාත්තා සුළු වෙළෙන්දෙක් ලෙස කටයුතු කරමින් තමයි රුක්ෂානිලාගේ කුටුම්බය සවිමත් කළේ. 

පිරිමි දරුවන් නොවූ රුක්ෂානිලාගේ පවුලේ පිරිමි දරුවා වුනේ රුක්ෂානි. ගෙදර දොර වැඩවල දී වගේම වෙනත් වැඩක දී ද අම්මාගේත් තාත්තාගේත් ඇමතීම වුනේ රුක්ෂානිට. මේ නිසා ඇයට නිවසේ වැඩි වැඩ කොටසක් ද පැවරුණා. විශේෂයෙන්ම නංගිලාගේ වැඩකටයුතු පැවරුණේ ඇයට. 

තාත්තාගේ රැකියාවෙන් ලැබෙන සුළු මුදලින් ගෙදර අවශ්‍යතා පිරිමසා ගනිද්දී, බොහෝ විට ඇයගේ අවශ්‍යතාවන් නංගිලා වෙනුවෙන් කැප කිරීමට ද ඇයට සිදු වුනා. මේක නියමයක්, නියෝගයක් නොවූවත්, අම්මාත් තාත්තාත් රුක්ෂානිත් කතා කරගත්තා වගේ ඒ දේවල් ඉබේම සිදු වුනා. 

“අම්මාත් තාත්තාත් ගොඩක් මහන්සි වුනා, අපි හතර දෙනා උස් මහත් කරන්න. පවුලේ හතර දෙනෙක් නිසා අම්මාගෙ වැඩකටයුතු නිවෙසටත්, ගෙවතු පාලනයටත් අපි ගැන සොයා බැලීමටත් පමණක් සීමා වුනා. තාත්තාගෙ සුළු රැකියාව තමයි අපේ ප්‍රධාන ආදායම් මාර්ගය වුනේ. පාසලේ අවශ්‍යතා වගේම ගෙදර දොර අවශ්‍යතා ඉදිරියේ ඔහුට විවේකයක් ලබා ගන්න හැකි වුනේ නැහැ. අපි වෙනුවෙන් පුදුම කැපවීමක් කළේ. පවුලේ වැඩිමහල් කෙනා ලෙසින් තාත්තා ගොඩක් වෙලාවට වැඩ පැවරුවේ මට. කොයි වෙලාවෙත් ලොකු දුවේ කියා ගත් ගමන්ම තමයි හිටියේ. එහෙම හිටිය තාත්තා දැනට අවුරුදු දෙකකට විතර ඉහත දී අපිව දාල ගියා. දැනටත් තාත්තාගෙ අඩුව කොච්චරවත් දැනෙනවා. ඒක යම්තම් දුරකට දුරස් වෙන්නෙ අම්මා නිසා.” රුක්ෂානි තම මතකයේ ළබැඳි සබැඳියාව සිහිපත් කළා. 

රුක්ෂානි ඉගනුම ලැබුවේ අටළුගම, මායාදුන්න මහ විද්‍යාලයේ. පාසල් කාලයේ දී ඇය කප් ගැසූ වොලිබෝල් ක්‍රීඩිකාවක්. මේ නිසා පාසලේ යම් පිළිගැනීමක් ද ඇයට ලැබුණා. බාහිර කටයුතුවලට අමතරව ඇය ඉගෙනීමට ද දැක්වූ දක්ෂතා නිසා මේ පිළිගැනීම තවත් වැඩි වුනා. 

පාසලේ කැපී පෙනෙන චරිතයක් වීම නිසාම බාලිකා රග්බි ආරම්භ කිරීමේ පළමු පණිවුඩය ලැබෙන්නේ ද රුක්ෂානිට. ඒ එවකට එම විද්‍යාලයේ ශාරීරික අභ්‍යාස ගුරුවරයා වූ කේ. එස්. පී. කරුණාරත්න මහතාගෙන්. 

“කරූ සර්ට ලොකු උවමනාවක් තිබුණා, පාසලේ රග්බි ක්‍රීඩාව ආරම්භ කරන්න. දවස් කිහිපයක්ම මට කිව්වා රග්බි ක්‍රීඩාව ගැන ටිකක් උනන්දු වෙන්න කියලා. ඒත් රග්බි ක්‍රීඩාව පාසලේ ආරම්භ කරයි කියලා කවදාවත් හිතුණේ නැහැ. මොකද අපේ සමහර අය රගර් ගැන අහල තිබුණට රග්බි බෝලයක්වත් දැකල තිබුණේ නැහැ. ඒත් කරූ සර්ගෙ දැඩි කැපවීම සහ උනන්දුව මත අපි 1999/2000 කාලයේ දී රග්බි බාලිකා කණ්ඩායමක් පාසලේ හදාගත්තා.”

මෙහෙම හදා ගත් කණ්ඩායමට ගොඩක් අඩු-පාඩු තිබුණා. පුහුණු වීමට අවශ්‍ය ක්‍රීඩා පිටියක් කෙසේ වෙතත් අවශ්‍ය උපකරණවලින් පවා ඔවුන් පීඩා වින්දා. ගෙවල් දොරවල්වලින් ද යම් යම් දෝෂාරෝපණ එල්ල වුනා. ඒ කෙල්ලන්ට මේ ක්‍රීඩාව ගැළපෙන්නේ නැහැ කියන මතේ සිට. මේ නිසා ඇතැම් අයට පුහුණුවීම්වලට එන්න ලැබුණෙ දවසයි දෙකයි. ගෙවල්වලින් පෑ විරෝධතා මැද ඔවුන් නතර වුනා. ඒත් රුක්ෂානිලා දිගටම පුහුණුවීම් කටයුතුවල යෙදුණා.

එකවට මයාදුන්න විදුහලේ කාන්තා රග්බි කණ්ඩායම

ඔය දවස්වලම තමයි කැළණිවැලි ක්‍රීඩා සමාජයේ කාන්තා රග්බි ආරම්භ කරන්න මග පෑදෙන්නේ. රුක්ෂානිලාගේ කණ්ඩායම ම තමයි කැළණිවැලි කණ්ඩායම ලෙසින් එළියට එන්නේ. කණ්ඩායමේ නායිකාව වන්නේත් රුක්ෂානි. එහි පුහුණුකරු වුනේ නැසී ගිය බියුටි ගුණරත්න මහතා. මායාදුන්නේ දී වගේම කැළණිවැලියේදීත් අඩු-පාඩුවල අඩුවක් නැතිව රුක්ෂානිලා මුහුණ දුන්නා. ඒත් ඒ තත්ත්වය මතත් අගනුවර ප්‍රමුඛ ක්‍රීඩා සමාජවලට අභියෝගයක් වෙන්න රුක්ෂානිලාට හැකි වුනා. 

කැලණිවැලි කණ්ඩායම සමඟින්

“අපි කැළණිවැලි ක්‍රීඩා සමාජය යටතේ ශූරතා කුසලාන 12ක් විතර දිනුවා. ඒ වගේම කැළණිවැලි ක්‍රීඩා කරද්දී තමයි මම 2003 වසරේ දී හොංකොං රග්බි සෙවන්ස් (7) තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගන්නේ. එම කණ්ඩායමේ නායිකාව ලෙසින් ද කටයුතු කිරීමට මට අවස්ථාව ලැබෙනවා. එතැන සිට අවුරුදු කිහිපයක්ම එක දිගට මම කාන්තා රග්බි කණ්ඩායම නියෝජනය කරනවා. මේ අතරින් 2005 වසරේ සිංගප්පූරුවේ පැවති ආසියානු රග්බි සෙවන් තරගාවලියේ බඳුන ශූරතාව දිනා ගැනීමට හැකි වෙනවා. ඒක තමයි අපි කාන්තා රග්බි ඉතිහාසයේ දිනා ගත් පළමු ජාත්‍යන්තර කුසලානය.” රුක්ෂානි අතීතය සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයකින්. 

රුක්ෂානි පළමු රග්බි නායිකාව වන විට කණ්ඩායමේ කළමනාකරු වෙන්නේ අර්ජුන් ධර්මදාස මහතා, පුහුණුකරු වෙන්නේ ඉෂාබ් ආබ්දීන් මහතා. ඔවුන් වගේම කණ්ඩායමේ සියලුම දෙනා ද තමන් වෙත එම සංචාරයේදීත් අනෙකුත් සෑම අවස්ථාවකදීමත් උපරිම සහයෝගය දැක්වූ බැව් ද රුක්ෂානි පැවසුවා. 

ආසියානු බඳුන ශූරතාව දිනා ගනිමින්

2003 වසරේ සිට 2014 වසර දක්වා වූ වසර 11ක් ඇය ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම නියෝජනය කරනවා. එම කාලයේ දී සුදත් සම්පත්, චන්ද්‍රශාන් පෙරේරා යන මහත්වරුන් යටතේ ඇය පුහුණුව ලබා තිබෙනවා. 

“එදාට වඩා අද රග්බි ක්‍රීඩාව ඉතා ඉහළ මට්ටමේ තියෙනවා. ඒ වගේම පහසුකම් ද ඉතා ඉහළ මට්ටමකින් ලැබෙනවා. අපි කැළණිවැලියේ ක්‍රීඩා කළ මුල් අවදියේ දී ජිම් එකක්වත් දැකල තිබුණෙ නැහැ. පාරේ, පිට්ටනිවල දුවල, ගෙවල්වලින් ගේන මොනව හරි කෑම එකක් කාල තමයි ක්‍රීඩාවේ නිරත වුනේ. ඇත්තටම එදා තිබුණ තත්ත්වය ගැනයි අද තියෙන තත්ත්වය ගැනයි හිතද්දි හිතට හරි සතුටුයි.” රුක්ෂානි පැවැසුවා.  

කැළණිවැලියෙන් පස්සේ රුක්ෂානි 2005 වසරේ දී යුද හමුදාවට එක් වෙනවා. ඒ වෙද්දි ඇය උසස් පෙළ ද ඉහළින් සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයට ද සුදුසුකම් ලබා සිටියා. නමුත් ඇයට ඒ වෙද්දී වඩාත් වැදගත් වුනේ උසස් අධ්‍යාපනයට වඩා ගෙදර ආර්ථිකයට උරදිය හැකි රැකියාවක් කිරීම. අම්මාටත් තාත්තාටත් සවියක් වෙමින් සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමන්ට හැකි පමණින් උදව් කිරීම. 

“රග්බි ක්‍රීඩාව සහ උසස් අධ්‍යාපනය යන දෙකම මට එකසේ වැදගත් වුනා. නමුත් මේ දෙකම අතරමග නතර කරන තැනක මම හිටියා. ඒ අපි ඒ වෙන විට ද මුහුණ දී සිටි ආර්ථික අපහසුතා නිසා. එහෙම සිටිද්දී තමයි මට යුද හමුදා කණ්ඩායමට එක් වෙන්න ආරාධනා ලැබෙන්නේ. ඇත්තටම යුද හමුදාව මගේ ආර්ථිකයට වගේම රග්බි ක්‍රීඩාවටත්, අද දවස වන විට අධ්‍යාපනයටත් රුකුලක් වුනා.” රුක්ෂානි පවසනවා.

රුක්ෂානි 2005 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායම නියෝජනය කරනවා. 2008/2009 තරග සමයේ කණ්ඩායමේ නායිකාව වන්නේ ද ඇය. මේ කාලයේ දී ශ්‍රී ලංකාවේ අංක 1 කාන්තා රග්බි කණ්ඩායම බවට යුද හමුදා කණ්ඩායම පත් කිරීමට ද රුක්ෂානිගේ දායකත්වය වැදගත් වෙනවා. ඒ වගේම රුක්ෂානිගේ ජීවිතයේ සිහින සැබෑවක් කිරීමට යුද හමුදාව කදිම ඉනිමගක් ද වෙනවා. 

“අපිට යුද හමුදාවේ දී හැම පහසුකමක් ලැබෙනවා. මම විශ්වාස කරනවා, මගේ ජීවිතයේ මට ලැබුණ බොහෝ දේවල් ලැබෙන්නේ යුද හමුදාව නිසා. ශ්‍රී ලංකාවේ පළමු රග්බි කාන්තා විනිසුරුවරිය වීමට පාර සැකසෙන්නේ යුද හමුදාව නිසා. ඒ ලද පත්වීමත් සමඟ ඩුබායිවල 2017 වසරේ පැවති වයස අවුරුදු 17න් පහළ ආසියානු බාලිකා රග්බි තරගාවලියට සහභාගී වීමට ද මට අවස්ථාවක් ලැබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර රග්බි විනිසුරුවරිය වෙන්නේත් මම. ඒ ගැන මට ඇත්තේ අහිංසක ආඩම්බරයක්. අටළුගම වැනි දුෂ්කර ගම්මානයක දී රග්බි ක්‍රීඩාව ආරම්භ කරලා ජාත්‍යන්තර තරග නියෝජනය කළ ක්‍රීඩිකාවක් සහ ජාත්‍යන්තර විනිසුරුකාරියක් වීම දක්වා පැමිණීමට ලැබීම ගැන සිහිපත් කරද්දී ඇත්තට ම මේ දේවල් මේ විදිහට සිදු වේවි ද කියලත් හිතෙනවා.” රුක්ෂානි ගෞරවාන්විතය පැවසුවා. 

පවුම් පනහක් නිසා ඇරඹුණු සිලෝන් රග්බි

ආසියානු උප මහද්වීපයේ විශිෂ්ටතම රග්බි කණ්ඩායම වන ශ්‍රී ………

කර්නල් සමන්ත සමරසිංහ, සහ සත්තප්‍රිය ලියනගේ මහත්වරුන් යටතේ යුද හමුදා සේවයේ නියුතු රුක්ෂානි මේ වන විට යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායමේ සහාය පුහුණුකාරිනිය ලෙසින් ද කටයුතු කරනවා. ඒ ප්‍රධාන පුහුණුකරු උපාලි වික්‍රමසිංහ මහතා සමඟ එක් වෙමින්. ඒ වගේ රුක්ෂානිගේ අතරමග නතර වුන උසස් අධ්‍යාපනය ද මේ වන විට ආරම්භ කිරීමට යුද හමුදාව මගින් අවස්ථාව ලබා දී තිබෙනවා. 

“දැනට මම වරලත් ගණකාධිකාරී විෂයන් හදාරනවා. ඒ මගින් ඉදිරියට යන්න කැමතියි. ඒ වගේම අනාගතයේ දවසක රග්බි කාන්තා පුහුණුකාරිනියක් වීමේ බලාපොරොත්තුවක් ද තියෙනවා. මම හිතනවා මට මේ ඉලක්කයන් දෙකටම යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම කාන්තා රග්බි ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට මට හැකි සෑම අවස්ථාවකම ඉදිරිපත් වීම මගේ තවත් එක් අරමුණක්.” රුක්ෂානි පැවසුවා. 

ඇයගේ එම බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com අපගේ සුබ පැතුම්

>> විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<