ඇම්බ්‍රෝස්ගෙන් විශේෂ තීරණයක්

202
(Photo by Rebecca Naden - PA Images/PA Images via Getty Images)

එංගලන්තයේ හිටපු කඩුලු රකින ක්‍රිකට් ක්‍රීඩක ටිම් ඇම්බ්‍රෝස් 2020 අවසානයේ දී වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව සිකුරාදා (ජූලි 3) නිවේදනය කළේය. 37 හැවිරිදි වියේ පසුවන ඔහු පැවසුවේ Warwickshire ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සහ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම තමන්ට ලැබුණු ගෞරවයක් හා වරප්‍රසාදයක් බවයි.

පුහුණු තරගය මඟ දමා කරන්ව නිරෝධායනයට

2001 වසරේ දී සසෙක්ස් ක්‍රීඩා සමාජය හරහා ක්‍රිකට් පිටියට පිවිසෙන ඇම්බ්‍රෝස් 2006 දී Warwickshire  ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වන අතර පසුව ඔවුන්ගේ කණ්ඩායම එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි 4ක ශූරතාවයන් දිනා ගැනීමට සමත් විය. එම ප්‍රාන්ත කණ්ඩායම තුල දවා ගැනීම් සඳහා දෙවන වැඩිම දායකත්වය දැක්වූ ක්‍රීඩකයා බවට පත්වූ ඇම්බ්‍රෝස් හට 2008 වසරේ මාර්තු මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවතී ටෙස්ට් තරගයක දී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට අවස්ථාව උදා විය.

“මම දැන් අවුරුදු 20ක වගේ කාලයක් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සහ දේශීය ක්‍රිකට් පිටියට සමුදෙන්න තියෙන හොඳම වේලාව මේක තමයි කියලා මට හිතුණ නිසා මම මේ තීරණය ලබා ගත්තා. මම තවමත් මෙම සංචිතයේ කොටසක් ලෙස හිටියත්, මෙවර ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අවසන් වෙනවාත් සමඟම මම මගේ විශ්‍රාම දිවිය පටන් ගන්නවා” යැයි ඇම්බ්‍රෝස් පවසා සිටියේය.

2008 වසරේ එංගලන්ත කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේම ටෙස්ට් වරම් දිනා ගන්නා ඇම්බ්‍රෝස් එම තරගයේ පළමු ඉනිම තුල අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට සමත් විය. දෙවැනි ඉනිමේ දී ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගිය මේ දකුණත් පිතිකරුවා වෙලින්ග්ටන් හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී ශතකයක් සහ දවා ගැනීම් 4ක් සඳහා දායක වෙමින් තරගයේ වීරයා බවට පත්වූ අතර එම තරගය ලකුණු 126කින් ජය ගැනීමට සංචාරක එංගලන්ත ක්‍රිකට් පිලට අවස්ථාව ලැබුණි.

මේ වන විට එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 11කට, එක්දින තරග 5කට සහ එක් විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කළ ඇති ඇම්බ්‍රෝස් එහි දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟ මුළු ලකුණු 457ක් රැස්කර ගැනීමට සමත්ව ඇත.

2011 ක්‍රිකට් ලෝක කුසලානයේ විශේෂ විමර්ශනය අවසන්

“තවත් අවුරුදු 20ක් වුනත් මම ක්‍රීඩා කරන්න කැමතියි. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි කරන්න අමාරු වැඩක්, විශේෂයන්ම අපේ ශාරීරික යෝග්‍යතාවයත් එක්ක ඒ වැඩේ කරන්න අමාරුයි. ගොඩක් තරුණ ක්‍රීඩකයින් මෙතැනට එන්න බලාගෙන ආසාවෙන් ඉන්නවා. ඔවුන්ට අවස්ථාව දීලා මම දැන් මේ ස්ථානයෙන් ඉවත් වෙන එක තමයි හොඳම” යැයි ඇම්බ්‍රෝස් වැඩිදුරටත් පවසා සිටියේය.

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් Warwickshire  ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරමින් සිටියි.

Warwickshire කණ්ඩායම වෙනුවෙන් ඔහු කළ කැපී පෙනෙන උත්සාහය ගැන අපි ඔහුට ස්තූතිවන්ත වන අතර මෙම එළඹෙන 2020 තරග වාරය සහ ඔහුගේ අනාගත වෘත්තීය ජීවිතය වෙනුවෙන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් මම ඔහුට සුබ පතනවා” යැයි ෆාබ්‍රේස් මහතා පවසා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<