ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (22) Rajshahi හි දී පැවැති 2 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත්තා.
දෙරට අතර පැවැති පළමු තරගයේ දී සත්කාරක ක්‍රීඩිකාවන් වෙතින් කඩුලු 3ක පරාජයක් ලැබූ ඔවුන් මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 3කින් යුත් එක්දින තරගාවලිය 1-1ක් සේ සම තත්ත්වයට ගෙන ඒමට සමත් වූවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවිශා දිල්හාරි, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, මල්කි මදාරා, ඉනෝකා රණවීර සහ නිමාශා මීපගේ.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Nigar Sultana (නායිකාව සහ කඩුලු රකින්නිය), Nahida Akter, Sharmin Akhter, Ritu Moni, Sobhana Mostary, Shorna Akter, Rabeya Khan, Marufa Akter, Sultana Khatun, Sarmin Sultana සහ Juairiya Ferdous.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 165ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ නායිකා Nigar Sultana. ඇය පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා. එය ඇය එක්දින ජාත්‍යන්තර තරග දිවියේ වාර්තා කරන ලද 9 වැනි අර්ධ ශතකයයි.
ඇය එම ඉනිම ගොඩ නගන්නේ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 2ක් ලකුණු 4කට දැවී ගොස් තිබියදීයි. එහි දී ඇය ආරම්භක පිතිකාරිනී Sarmin Sultana සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 65ක දී ලකුණු 45ක සබඳතාවක් ද ගොඩ නගනවා.
Sarmin Sultana පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් Nahida Akter පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව ඉනෝකා රණවීර, නිමාෂා මීපගේ සහ මල්කි මදාරා කඩුලු ද්විත්වය බැගින් ද සහ කවීෂා දිල්හාරි කඩුල්ලක් ද දවා ගත්තා.
- 2026 LPL තරගාවලියට දින නියම වෙයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ නවසීලන්තය 3-0කින් පරාජය කරයි
- කුසල් මෙන්ඩිස් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් වාර්තා කරයි
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ හිසිනි පෙරේරා (5) සහ ඉමේෂා දුලානි (8) අඩු ලකුණුවලට සීමා වෙමින් ඉනිම් හැර ගිය ද ආරම්භක පිතිකාරීනිය ලෙසින් පිටියට එක් වූ චමරි අතපත්තු 3 වැනි කඩුල්ලට ඉනිම හැර යද්දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 40ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව 4 වැනි කඩුල්ලට හර්ෂිතා සමරවික්‍රම සහ හංසිමා කරුණාරත්න එක් ව පන්දු 110ක දී ලකුණු 77ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය ආසන්නයට රැගෙන ගියා.
එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ හංසිමා කරුණාරත්න ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය ඉනිම හැර යන විට පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 3ක් එක් වෙද්දී හර්ෂිතා සමරවික්‍රම ද දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 8 වැනි අර්ධ ශතකයයි.
ඉන් අනතුරු ව කෞෂිනි නුත්‍යාංගනා ලකුණු 4කට දැවී යන අතර තරගය ජයග්‍රහණය කරන විට කවිශා දිල්හාරි (2) සහ නිලක්ෂිකා සිල්වා (2) නොදැවී පිටියේ රැඳී සිටියා.
ඔවුන් ප්‍රතිවාදී ඉලක්කය පසු කරන්නේ තම ඉනිමේ තවත් පන්දු 70ක් ද ඉතිරි කර ගනිමිනුයි.
කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ Nahida Akter ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Ritu Moni සහ Sultana Khatun කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 165 (45.5)Sarmin Sultana25, Nigar Sultana 58, Nahida Akter 20, මල්කි මදාරා 2/30, නිමාෂ මීපගේ 2/29, ඉනෝකා රණවීර 2/28, චමරි අතපත්තු 3/36
- ශ්‍රී ලංකාකාන්තා ක්‍රිකට්කණ්ඩායම – කඩුලු 6ක් දැවී 166 (38.2) චමරි අතපත්තු 40, හර්ෂිතා සමරවික්‍රම 50, හංසිමා කරුණාරත්න 40, Nahida Akter 4/21
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)
මෙම තරගාවලියේ මීළඟ තරගය මේ මස 25 වැනිදා Rajshahi හී Shahid Kamruzzaman ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















