LPL වගේ කබඩි තරගාවලියක් පවත්වන්නට සැලසුම්

262

කබඩි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය සිය 08 වැනි ඉහළ කාර්ය සාධන ගිවිසුම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනය සමඟින් ඉකුත් දා (14) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අත්සන් තැබුවා.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් ප්‍රමුඛතා ක්‍රමවේදයක් මත පදනම්ව දිගුකාලීන ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන වෘත්තීමය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම අරමුණු කරගනිමින් ඉහළ කාර්ය සාධන වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි ක්‍රීඩාවක් ලෙස ප්‍රමුඛත්වය දිය යුතු බවට ජාතික ක්‍රීඩා සභාව විසින් නිර්දේශ කර ඇති කබඩි ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් 41,887,800/-ක මූල්‍යමය ප්‍රදානයක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා කබඩි සම්මේලනය වෙත මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ කබඩි සම්මේලනය වෙනුවෙන් එහි සභාපති අනුර පතිරණ මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින කබඩි ක්‍රීඩාව සාර්ථක ලෙස ප්‍රවර්ධනය කර ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ගෙන යා හැකි ක්‍රීඩාවක් ලෙස අපි හඳුනා ගෙන තිබෙනවා. ඉදිරියේ දී අපි ජාත්‍යන්තර franchise කබඩි තරගාවලියක් ශ්‍රී ලංකාවේ පවත්වන්න කටයුතු කරනවා. එය LPL ක්‍රිකට් තරගාවලිය වගේ එකක්. ඒ හරහා ගමේ ඉන්න දක්ෂ නවකයින්ට කබඩි ක්‍රීඩාවට අවතීර්ණ වීමට අවස්ථාව හිමි වෙනවා. 

ඉදිරි වසර දෙක තුළ කබඩි ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන්න අපි සූදානම්. ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම පසු කාලීනව ලෝක ශූරතාව වැනි ජයග්‍රහණ කරා කබඩි ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන්. කබඩි ක්‍රීඩාවේ franchise තරගාවලි හරහා රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකියි යන විශ්වාසය අපි තුළ තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා මෙන්ම, කලාපයේ ප්‍රචලිත ජනප්‍රිය ක්‍රීඩා නගා සිටුවීමට අමාත්‍යාංශයක් ලෙස අපි අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. කබඩි ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් ඉදිරියේ දී ලංකාව තුළ පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. 

ග්‍රාමීය මට්ටමේ සිටින අපේ දක්ෂ නවක ක්‍රීඩකයින්ට ඉදිරියට එන්න මෙවැනි තරගාවලි හරහා හොඳ අවස්ථාවක් ලැබෙනවා. කබඩි මෙන්ම අනෙක් ක්‍රීඩාවල ද ජාත්‍යන්තර තරගාවලි ලංකාවේ පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. 

ජාත්‍යන්තර තරගාවලි සංවිධානය කර අපේ රටේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්ෂතා එළිදක්වන්න අපි අවස්ථාව සලසා දිය යුතුයි. කොවිඩ් වසංගතයත් සමඟ ලෝකයේ අනෙක් රටවල ද ක්‍රීඩාවේ යම් පසුබෑමක් තිබෙනවා. 

නමුත් සෑම රටක්ම නව සාමාන්‍යකරණයට හුරු වී ඉදිරියට පැමිණ තිබෙනවා. දකුණු ආසියාවෙන් ම අපේ රට නව සාමාන්‍යකරණයට හුරුවෙමින් තරගාවලි පවත්වමින් කඩිනමින් ඉදිරියට පැමිණ තිබෙනවා. 

නව සාමාන්‍යකරණය තුළ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව අවසන් කර ආරක්ෂිත ජෛව බුබුල තුළ ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර තරගාවලි පවත්වන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. සියලු දෙනාගේ ම සෞඛ්‍ය සම්පන්න ජීවිතය වෙනුවෙන් ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගතකිරීමට අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරනවා. 

දරුවෙක් ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න වුවහොත් හොඳ ක්‍රීඩකයෙක් නිර්මාණය කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

එළඹෙන ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නා.

ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරගාවලිය අපි ආරම්භ කරනවා. කොරෝනා වසංගතය හේතුවෙන් ඒ සඳහා අපි පසුපෙළ කණ්ඩායම් දෙකක් සූදානම් කර තිබෙනවා. 

අවශ්‍ය වපසරිය අනුව අපි සියලු කටයුතු සූදානම් කර සැලැස්මක් අනුව වැඩ කරගෙන යනවා. මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවට හෝ වෙනත් කිසිදු ක්‍රීඩාවකට සැලැස්මක් තිබුණෙ නැහැ. එක එක අයට හිතුමතේ කාලානුරූපව ක්‍රීඩකයින් වෙනස් වුනා. නායකයෝ වෙනස් කළා. කණ්ඩායම් වෙනස් කළා, පුහුණුකරුවන් වෙනස් කළා.

අද අපි සැලැස්මක් ඇතිව මධ්‍ය හා දිගු කාලීන ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා තිබෙනවා. කොරෝනා වසංගතය අපිට බාධාවක් නොවේ. යම් පසුබෑමකට ලක් වුනත් අපි අපේ සැලැස්මත් එක්ක ඉදිරියට යනවා. 

ඉන්දියානු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය නිසා ලංකාවේ ආර්ථිකයට මේ වෙනකොට ඩොලර් මිලියන 12ක් ආදායමක් ලැබිලා තිබෙනවා. 

ඉදිරියේ දී ජාත්‍යන්තර තරගාවලි පවත්වන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වුනාම මෙලෙස අපේ ආර්ථිකයට විදේශ විනිමය ගලාගෙන එන ක්ෂේත්‍රයක් විදියට ක්‍රීඩාව කාලාන්තරයකට පස්සේ පරිවර්තනය වීමට නියමිතයි.

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් සහභාගී වෙනවා. මෙහි විශේෂත්වය ලෙස ක්‍රීඩිකාවන් 05 දෙනෙක් ඒ අතර සිටිනවා. 

අපේ රටට ඔලිම්පික් ජයග්‍රහණයක් ගෙනැත් තියෙනවා සුසන්තිකා ජයසිංහ මහත්මිය. ඇය කාන්තාවක්. අපි බලාපොරොත්තු සහිතව බලාගෙන සිටිනවා. මෙවර ඉතිහාසයේ පළමු වතාවට පරිසාධන මට්ටම අනුව ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් සඳහා ක්‍රීඩිකාවක් තේරී පත්ව තිබෙනවා.

පරිසාධන මට්ටම සපුුරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් ඔලිම්පික් සඳහා තේරී පත් ව තිබෙනවා. ඉතාම හොඳ කණ්ඩායමක් අපේ රට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙනවා.

එහි දී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ පෞද්ගලික තරග වාර්තාව අභිබවා ගියොත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මීළඟ තරගාවලි ජයග්‍රහණ කරා යන ආකාරය පිළිබදව බලාපොරොත්තු තබා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් ඇතුළුව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක්  ද සහභාගි වූහ.

*සැ.යු – මෙය ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් එවනු ලැබූ මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<