චමරිගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකා ජයග්‍රහණයට සවිය වෙයි

කාන්තා එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග - 2021

5996

2022 කාන්තා එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ A කාණ්ඩයේ අද (23) ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයෙන් Duckworth–Lewis න්‍යාය මත ලකුණු 34ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

සිම්බාබ්වේ හී Harare නුවර පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් නෙදර්ලන්ත නායිකා Heather Siegers පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

· ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: චමරි අතපත්තු (නායිකා), හෂිනි පෙරේරා, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, අනුෂ්කා සංජීවනී, අචිනි කුලසූරිය, ඕෂධී රණසිංහ, නිලක්ෂි ද සිල්වා, ඉනෝකා රණවීර, තාරිකා සෙව්වන්දි, උදේෂිකා ප්‍රබෝධනී.

· නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම: Heather Siegers (c), Juliët Post, Robine Rijke,Sterre Kalis, Hannah Landheer, Eva Lynch, Iris Zwilling , Silver Siegers, Babette de Leede, Caroline de Lange, Frederique Overdijk.

නෙදර්ලන්ත නායිකාවගේ තීරණයට අභියෝග කරමින් පළමු කඩුල්ල සඳහා පන්දුවාර 13.4ක් තුළ වේගවත් ලකුණු 93ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකාරිණියන් වන චමරි අතපත්තු සහ හෂිනි පෙරේරාට හැකි වුනා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ හෂිනි Caroline de Langeගේ පන්දුවක් හමුවේ නැවත ක්‍රීඩාගාරයට හැරී යන විට පන්දු 43ක් තුළ හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 27ක් රැස්කරගෙන සිටියා.

ඉන්පසු පිටියට පිවිසි ප්‍රසාදිනී වීරක්කොඩි හට සාර්ථකව වීමට අවස්ථාවක් ලබා නොදුන් Caroline ඇයව ලකුණු 6ක් ලබා සිටි යදී ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 103ක් වන විටයි.

ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය වූ නායිකා චමරි අතපත්තු පන්දු 70ක් තුළ හයේ පහර 5ක් සහ හතරේ 11ක් සමඟින් අගනා ලකුණු 111ක් රැස් කිරීමට සමත් වුනේ තවත් ශතකයක් සිය නාමයට එක්කර ගනිමින්.

තෙවැනි කඩුල්ල සඳහා ඉමේෂා දුලානි සමඟ එක්ව ලකුණු 64ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු Caroline de Langeගේ පන්දුවක් හමුවේ චමරි දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ 167/3ක් ලෙසයි.

ඉමේෂා දුලානි හට ද වැඩි වෙලාවක් පිටියේ රැඳීමට ඉඩ නොදුන් Caroline දුලානි ලකුණු 17ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ අතර ලකුණු 26ක් ලබා සිටි නිලක්ෂි සිල්වා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවුනා.

නෙදර්ලන්ත කණ්ඩායමට තරමක හිසරදයක්ව සිටි අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් ලබා සිටිය දී සහ තාරිකා සෙව්වන්දි ලකුණු 11ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට Silver

Siegersට හැකි වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 250ක් බවට පත්කරමිනුයි.

ශ්‍රී ලංකා ඉනිමට අවශ්‍ය වූ සහයෝගය පසුපෙළ පිතිකාරිණියන්ගෙන් නොලැබීම නිසාවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 278කට සීමා වුනා.

පන්දු යැවීමේ දී Caroline ලකුණු 64කට කඩුලු 4ක් සහ Silver Siegers ලකුණු 41කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර Iris Zwilling සහ Heather Siegers අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 279ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 13කට සීමා කරමින් ලකුණු 3ක් ලබා සිටි Juliët Post පිටියෙන් ඉවත් කිරීමට උදේෂිකා ප්‍රබෝධනීට හැකි වුනා.

නමුත් ඉන්පසු පිටියේ එක්වූ Babette de Leede සහ Sterre Kalis ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 141ක දැවැන්ත සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වුනා.

එම සම්බන්ධතාවට තිත තබමින් ලකුණු 77ක් ලබා සිටි Babette පිටියෙන් ඉවත් කිරීමට චමරිට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 154ක් වන විටයි.

ඉන්පසු පිටියට පිවිසි Robine Rijke හට ද සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් නොදුන් ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඇය ලකුණු 03ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවට හිසරදයක්ව සිටි Sterre ලකුණු 66ක් ලබා සිටිය දී තාරිකා සෙව්වන්දි ලබා ගත් දක්ෂ උඩපන්දුව නිසාවෙන් දවා ගැනීමට ඕෂදි රණසිංහට හැකි වූ අතර ලකුණු 10 ලබා සිටි Heather පිටියෙන් ඉවත් කිරීමට ඉනෝකා රණවීරට හැකි වුනේ නෙදර්ලන්ත ලකුණු පුවරුව 5/173ක් බවට පත් කරමිනුයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ අසරණ වූ නෙදර්ලන්ත පිතිකාරිණියන් පන්දුවාර 43.4 දී කඩුලු 6ක් දැවී ලකුණු 196 ලබා සිටිය දී ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් තරගය නතර කිරීමට සිදු වුනා.

වර්ෂාව දිගින් දිගටම ඇද වැටීම නිසාවෙන් තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වීම නිසා Duckworth–Lewis න්‍යාය මත ලකුණු 34ක ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමි වුනා.

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 278/9 (50): චමරි අතපත්තු 111, අනුෂ්කා සංජීවනී 31, හෂිනි පෙරේරා 26, නිලක්ෂි සිල්වා 26, Caroline de Lange 4/64.
  • නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම – 196/6 (43.4): Babette de Leede 77, Sterre Kalis 66, ඕෂදී රණසිංහ 2/36, චමරි අතපත්තු 1/28.

ශ්‍රී ලංකාවේ මීළඟ අභියෝගය බටහිර ඉන්දීය කොදෙව්වන් වන අතර කාන්තා තරගාවලියේ සියලූම තරග තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<