මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී ධනංජය සිල්වා තනිවම සටනක

1253
Dhananjaya De Silva

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (27) නිමාවට පත්විය. අද දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ අසාර්ථක පිතිකරණ විලාසය නිසාම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් තරගය පිලිබඳ තබා තිබූ සුබවාදී බලාපොරොත්තු සෑහෙන තරම් දුරස් වී ගියේය.

සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු ඉහළ නංවයි

ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 4 ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ අංක 7 ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම…

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නම රැන්දූ දකුණු අප්‍රිකානු පිතිකරුවන් රැසකට අභියෝගයක් එල්ල කරමින් ඊයේ දිනය තුල ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 267කට කඩුලු 6ක් දවාලීය. එය අද තවදුරටත් ඉදිරියට ගෙන යමින් තරගය ආරම්භ කර පැයක් ගතවීමට මත්තෙන් දකුණු අප්‍රිකානු ඉනිමට තිත තැබීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

තම ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ සුරංග ලක්මාල් ලකුණු 63ට ප්‍රතිවාදී කඩුලු 5ක් දවාලීය. දඟ පන්දු යවන්නන්ට එතරම් සහයක් නොදක්වන පෝට් එළිසබෙත් තණතීරුවේදී මනා සංයමයකින් පන්දු යැවූ රංගන හේරත් කඩුලු 2ක් බිඳ හෙලීය. දකුණු අප්‍රිකානු ඉනිම අවසන් වූයේ නුවන් ප්‍රදීප් විසින් යවනු ලැබූ සුපිරි යෝකර් පන්දුවක් ලකුණු 37ක් ලබා සිටි ඩි කොක්ගේ කඩුල්ල සිප ගැනීමත් සමගිනි. ඒ වන විට දකුණු අප්‍රිකානුවන් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 286ක් ලබා සිටියහ.

නමුත් පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ තරග වාසිය වැඩි කල් නොයවාම නැවතත් දකුණු අප්‍රිකානුවන් වෙතටම තිලිණ කරන්නට ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් කටයුතු කරන ලදී. පසුගිය සිම්බාබ්වේ සංචාරයේදී පිත්තෙන් යම් දියුණුවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා අද දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් හමුවේ නිරුත්තර වනු දැකගන්නට ලැබුණි. දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 5කට පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර, කෞෂාල් සිල්වා අද රැස් කලේ ලකුණු 16ක් පමණි.

අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් පෙරේරා කඩුල්ලට ඉතා ඈතින් ගමන් කල පන්දුවකට පිත්ත යොමු කිරීමට ගොස් නිකරුණේ තම කඩුල්ල පූජා කළේය. ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳින් අධ්‍යයනය කර තරගයට පැමිණ තිබූ දකුණු අප්‍රිකානුවන් කුසල් මෙන්ඩිස් පිට ඉන්නට මදක් ඈතින් පතිත වන පන්දු වලට මුහුණ දීමේදී දක්වන දෙගිඩියාව මනාව ප්‍රයෝජනයට ගනිමින් ඔහුව ලකුණු නොලබාම දවා ගැනීමට සමත් විය.

ඉතාමත් දුර්වල ආරම්භය නිසාම ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ට තරග ජයග්‍රහණයක් ගැන සිතීම පසෙකලා ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් සටන් වැදීමට සිදුවිය. නමුත් ඒ කිසිවෙකුටත් දීර්ඝ ඉනිමක් කරා යාමට නොහැකි වූයේ ශ්‍රී ලංකා පිළ තරගයේ තවතවත් පසුපසට ඇද දමමිනි. ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් අද හතරේ පහර 5ක් සමගින් ලකුණු 39ක් රැස් කලත් කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ තම ඉනිම නිමා කරමින් ක්‍රීඩාගාරයට යාමට සිදුවිය. දිනේෂ් චන්දිමාල්ට අද රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 28ක් පමණි.

ශ්‍රී ලංකා පිළේ කඩුලු එකින් එක බිඳ වැටෙද්දී කවදත් තමන්ට හැකි පමණින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටුකර දෙන රංගන හේරත් හතරේ පහර 4ක් සමගින් ලකුණු 24ක් රැස් කර දීමට සමත් විය. අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ ධනංජය සිල්වා දිනය නිමා වනතෙක්ම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 43ක් රැස් කරගෙන සිටියි. අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දෙන දුෂ්මන්ත චමීර ලකුණු 7යි.

දිනය නිමාවීමට තවත් පැයක පමණ කාලයක් ඉතිරිව තිබියදී පෝට් එළිසබෙත් ක්‍රීඩාංගණයට අඳුර ගලා ආ බැවින් තරගය අද දිනයට නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදී. ඒ වන විට ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම දැක්වුනේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් වශයෙනි. ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම බිඳ දැමීමේදී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් ප්‍රමුඛත්වය ගත් අතර වර්නන් ෆිලැන්ඩර් කඩුලු 3ක් ද, කයිල් ඇබට් කඩුලු 2ක් ද බිඳ හෙලන ලදී.

මේ වන විට ශ්‍රී ලංකා පිතිකරුවන් දකුණු අප්‍රිකානු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 105ක් පිටුපසින් සිටින නිසා හෙට උදෑසන හැකි උපරිම ලකුණු ගණනක් රැස්කර ගනිමින් ගොඩනැගී ඇති පීඩනයෙන් නිදහස් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදුව තිබේ. නැතහොත් දකුණු අප්‍රිකානුවන් දෙවැනි ඉනිමේදී දැවැන්ත ලකුණු ගණනක් ඉලක්කය වශයෙන් ලබාදී ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කරනු නිසැකය.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 286 (පන්දුවාර 98.5) ජේ. පී. ඩුමිනි 63, ස්ටීවන් කුක් 59, ඩීන් එල්ගාර් 45, ෆැෆ් ඩු ප්ලෙසිස් 37, ක්වින්ටන් ඩි කොක් 37, හෂීම් අම්ලා 20, සුරංග ලක්මාල් 5/63, රංගන හේරත් 2/48, නුවන් ප්‍රදීප් 2/66.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 181 (පන්දුවාර 57) ධනංජය සිල්වා 43*, ඇන්ජෙලෝ මැතිව්ස් 39, දිනේෂ් චන්දිමාල් 28, රංගන හේරත් 24, දුෂ්මන්ත චමීර 7*, වර්නන් ෆිලැන්ඩර් 3/35, කයිල් ඇබට් 2/49, කේශව් මහරාජ් 1/30, කගිසෝ රබාඩා 1/63.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට