සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු ඉහළ නංවයි

1200
CRICKET-RSA-SRL

ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක 4 ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ අංක 7 ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් තරගය අද (26) පෝට්එළිසබෙත් හිදී ආරම්භ විය. ඒ අනුව ප්‍රථම දිනය නිමාවන විට ප්‍රබල දකුණු අප්‍රිකානු පිතිකරුවන් 6 දෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සුරංග ලක්මාල් ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් වූයේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට තරගය පිලිබඳ සුබවාදී බලාපොරොත්තු ඇතිකර දෙමිනි.

ඉන්දීය යොවුන් දඟ පන්දු යවන්නන් ආසියානු ශූරතාව සොරා ගනිති

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරගයක පළමු ඉනිමේ හොඳ ලකුණු සංඛ්‍යාවක අවශ්‍යතාව යලිත් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරදවා ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහල එක්දින ශූරතාව දිනා ගන්නට ඉන්දීය යොවුන් ක්‍රීඩකයන් සමත් විය.

අද උදෑසන කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස්ගේ තීරණය වූයේ තම ශක්තිමත් පිතිකරණ බලඇණිය යොදාගනිමින් ප්‍රථමයෙන්ම පන්දුවට පහරදී වැඩි ලකුණු ගණනක් රැස් කර ගැනීමයි. ආබාධ තත්වය නිසාවෙන් සිම්බාබ්වේ සංචාරයට සහභාගි නොවූ ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දුෂ්මන්ත චමීර අද නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වී තිබුණි. එසේම දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් වමතින් පිට දඟ පන්දු යවන නවක ක්‍රීඩකයෙකු වන කේශව් මහරාජ් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට සමත්ව තිබුණි.

දකුණු අප්‍රිකානු තණතිල්ලක දැකිය හැකි කොළ පැහැයත්, පන්දුවේ තිබූ ඉල්පීමත් නිසා දකුණු අප්‍රිකානු පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නිසි ගෞරවය ලබා දෙමින් ඉනිම ආරම්භ කරනු දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා පන්දු යැවීම ආරම්භ කළ සුරංග ලක්මාල්ගෙන් සහ නුවන් ප්‍රදීප්ගෙන් මුල සිටම තර්ජනාත්මක පන්දු කිහිපයක්ම එල්ල වූවත්, මෙවන් තණතීරු වල පන්දුවට පහර දී පළපුරුද්ද සහිත දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් යුගලය එම පන්දු වලින් තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් විය. ක්‍රමයෙන් දිවා කාලය එළඹෙත්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුලු දවා ගැනීමට අසමත් වීමත් සමඟ පීඩනයෙන් මිදුණු දකුණු අප්‍රිකානුවන් වේගවත් පහරවල් කරා යොමුවන්නට විය. ඒ අනුව දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 92ක් රැස් කරගෙන සිටියහ.

ක්‍රමයෙන් ශ්‍රී ලංකා පිළෙන් ඈතට ගමන් කරමින් තිබූ තරගය නැවත යම් පමණකින් ආපසු හැරවීමට වර්තමානයේ ශ්‍රී ලංකා පිළේ අත්දැකීම් බහුලම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් සමත් විය. ඒ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් ඒ වන විට ශතක සබඳතාවයක් පවත්වා සිටි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනි. ලක්මාල්ගේ පන්දු හමුවේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ට උඩපන්දු ලබා දෙමින් දැවී යන විට ස්ටීවන් කුක් ලකුණු 59ක් ද, ඩීන් එල්ගාර් ලකුණු 45ක් ද රැස් කරගෙන සිටියහ. මෙම කඩුලු දෙකේම ගෞරවය ලක්මාල්ට මෙන්ම කඩුලු රැකීමේ නිරත වුනු චන්දිමාල්ටද හිමිවිය යුත්තේ එම උඩපන්දු දෙකම කඩුලු රකින්නාට සෑහෙන තරම් ඈතින් ඇදී ගිය අපහසු උඩපන්දු දෙකක් නිසාවෙනි.

කෙටි කාලයක් තුල බිඳ වැටුනු කඩුලු දෙක හේතුවෙන් දකුණු අප්‍රිකානුවන් යම් තරමක පීඩනයකට ලක් වුවද එම පීඩනයෙන් ඔවුන් ඉක්මනින්ම මුදවාලීමට වමත් පිතිකරු ජේ. පී. ඩුමිනි සමත් විය. ඒ තාක්ෂණයෙන් පිරිපුන් මනරම් පහරවල් කිහිපයක් මගින් පන්දුව කිහිප වරක්ම හතරේ සීමාවෙන් එපිටට යවමිනි. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් ඔහු අද හතරේ පහර 10ක් සමඟින් ලකුණු 63ක් රැස් කිරීමට සමත් විය.

මුල්පෙළ පිතිකරුවන්ගේ සාර්ථක පිතිකරණය නිසා දකුණු අප්‍රිකානුවන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යන බව පෙනෙන්නට තිබුනත් ශ්‍රී ලංකා කණ්ඩායම සතු පරිණත පන්දු යවන්නන් දෙදෙනා වන සුරංග ලක්මාල් සහ රංගන හේරත් ඒ සඳහා ඉඩකඩ අහුරාලීමට සමත් වූහ. ඒ අතුරින් පෙරමුණ ගත් සුරංග ලක්මාල් අද දිනයේ තම පිතිකරණ රිද්මය හඳුනාගත නොහැකිව සිටි හෂීම් අම්ලා සහ සහ නායක ෆැෆ් ඩු ප්ලෙසිස් අඩු ලකුණු ගණනකට දවා ගැනීම නිසා දකුණු අප්‍රිකානුවන්ට ලැබෙන්නට තිබූ නිසැක ලකුණු ගණනක් අහිමි වී ගියේය. දඟ කැවීමක් නොමැති තණකොළ සහිත තණතීරුවේ තමාගෙන් ලැබිය යුතු උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබාදුන් රංගන හේරත් ජේ. පී. ඩුමිනි සහ ටෙම්බා බවුමා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර දවා ගැනීමට සමත් විය.

ඒ හේතුවෙන් ප්‍රථම දිනයේදීම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමට උත්සාහ කල දකුණු අප්‍රිකානුවන්ව දිනය අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 267කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරණ ශක්තිය දෙස බැලූ විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම දිනයේදීම දැක්වූ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන්නට හේතු වී තිබේ. මේ වන විට නමගිය පිතිකරුවෙකු ලෙස කඩුල්ලේ රැඳී සිටින්නේ ක්වින්ටන් ඩි කොක් පමණක් නිසා හෙට උදෑසන ඉක්මනින්ම ඔහුව දවාගෙන තරගයට ප්‍රබල ලෙස පිවිසීමට අවස්ථාවක් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට උදාවී තිබේ.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 267 (පන්දුවාර 90)

ජේ. පී. ඩුමිනි 63, ස්ටීවන් කුක් 59, ඩීන් එල්ගාර් 45, ෆැෆ් ඩු ප්ලෙසිස් 37, ක්වින්ටන් ඩි කොක් 25*, හෂීම් අම්ලා 20, වර්නන් ෆිලැන්ඩර් 6*, ටෙම්බා බවුමා 3,  සුරංග ලක්මාල් 4/62, රංගන හේරත් 2/48.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට