දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකාව ලැබූ දෙවැනි පරාජයත් අත්කර දෙමින් අද (05) කේප්ටවුන් හිදී දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ස්ථිර කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම සංචාරය ඇරඹීමට පෙරාතුව පිට පිටම ටෙස්ට් තරඟ 5ක් ජයගෙන යහපත් මානසිකත්වයකින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිය ගැන ගැටලුකාරී තත්වයක් ඇතිව තිබේ.

දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද, දිවා විවේකයටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 6 ද පහසුවෙන් බිඳ දැමූ දකුණු අප්‍රිකානුවන් ලකුණු 282ක දැවැන්ත ජයක හිමිකරුවන් බවට පත්විය. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී 130ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියේ අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරුවන් දෙපළක් වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේදී යම් තරමක හෝ ගෞරවයක් අත්කර දෙමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණය පමා කිරීමට නම් ඔවුන් දෙදෙනාගේ සාර්ථකත්වය අත්‍යාවශ්‍ය සාධකයක්ව පැවතුණි.

මැතිව්ස් සහ චන්දිමාල් ගෞරවය බේරා ගැනීමේ සටනක

කේප්ටවුන් හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවට පත්වන විට තරග ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 507ක දැවැන්ත ඉලක්කයක් ලුහුබඳින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබාගෙන අසීරු තත්වයක පසුවේ.

නමුත් වැඩි කල්වේලා නොයවාම ලකුණු 30ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල්, කාගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ ස්ටීවන් කුක් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේ දකුණු අප්‍රිකානුවන්ට තරගයේ ජයග්‍රහණය තව තවත් ලංකර දෙමිනි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 49ක් රැස් කර සිටියදී කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය. ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අංක 7 පිතිකරු ලෙස කටයුතු කරන උපුල් තරංගට අද රැස් කිරීමට හැකි වූයේ ලකුණු 12ක් පමණි.

එබැවින් ලකුණු 200 සීමාවටවත් ලඟා වීමට නොහැකි තත්වයක තිබූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 224ක් දක්වා රැගෙන යාමට රංගන හේරත්ගේ පිතිකරණ දක්ෂතා හේතුවිය. රංගන අද හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 35ක් රැස්කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ පිතිකරුවන්ට ද ආදර්ශයක් සපයා දෙමිනි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වැනසූ කාගිසෝ රබාඩා ලකුණු 55කට කඩුලු 6ක් දවාලීය. කෞෂාල්, ධනංජය, චන්දිමාල්, මැතිව්ස් සහ තරංග යන විශේෂඥ පිතිකරුවන් සියලු දෙනාම ඔහුගේ වේග පන්දුවේ ගොදුරු බවට පත්විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඉනිමේ ශතකයක් සහ දෙවැනි ඉනිමේ අර්ධ ශතකයක් රැස්කල ඩීන් එල්ගාර් සුවිශේෂී දස්කම් ප්‍රකට කර තිබුනත් තරගය පුරාවට කඩුලු 10ක් බිඳ හෙලමින් දකුණු අප්‍රිකානුවන්ට ජය මාවත විවර කරදුන් කාගිසෝ රබාඩාට තරගයේ වීරයා සම්මානය හිමිවිය. ඔහුට අනගි සහායක් ලබාදුන් වර්නන් ෆිලැන්ඩර් ලකුණු 48කට කඩුලු 3ක් බිඳ හෙලීය.

ශ්‍රී ලංකා පිළේ පිතිකරුවන් වේගය, දෝලනය සහ ඉල්පීම සහිත දකුණු අප්‍රිකානු තණතිලිවල ක්‍රීඩා කිරීමේදී දෙගිඩියාවකින් යුතුව ක්‍රීඩා කරන අයුරු නිමාවූ තරග දෙක පුරාවට දකින්නට ලැබුනු සුලබ සිදුවීමක් බවට පත්විය. එසේම ඕස්ට්‍රේලියානු තරගාවලියේ දැඩි ලෙස අසාර්ථක වී සිම්බාබ්වේ සංචාරයේදී යම් දියුණුවක් පෙන්නුම් කළ ආරම්භක පිතිකරණ යුගලයද මේ වන විට නැවත පසුබෑමකට ලක්ව තිබේ. එසේම ආබාධයෙන් සුවය ලැබූ දුෂ්මන්ත චමීරට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීමත්, මෙම තණතිලි වලට උචිතම පන්දු යවන්නෙකු වන ධම්මික ප්‍රසාද්ගේ සේවය ශ්‍රී ලංකාවට අහිමිව තිබීමත් නිසා තත්වය තවත් නරක අතට හැරී තිබේ. එබැවින් ඉදිරි තරග වලදී ශ්‍රී ලංකාව සතු පරිණත ක්‍රීඩකයින් කිහිපදෙනා දැඩි වගකීමකින් ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍යම කරුණක් බවට පත්ව තිබේ.

එසේම මෙම තරගයට ක්‍රීඩා කළ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ඇබට්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මේ සමඟින් නිමාවනු ඇත. ඒ ඔහු සහ දකුණු අප්‍රිකානු පිළේ තවත් දක්ෂ ක්‍රීඩකයෙකු වන රයිලි රොසෝව් එංගලන්ත හැම්ප්ෂයර් ප්‍රාන්තය සමඟ එක් වීමට ගිවිසුම් අත්සන් කර ඇති බැවිනි. මොවුන් දෙදෙනා අතරින් ඇබට්ගේ ඉවත් වීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් අනුමැතිය ලබා දී ඇත.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 392 (පන්දුවාර 116): ඩීන් එල්ගාර් 129, ක්වින්ටන් ඩි කොක් 101, ෆැෆ් ඩූ ප්ලෙසිස් 38, හෂීම් අම්ලා 29, ලහිරු කුමාර 6/122, සුරංග ලක්මාල් 2/93, රංගන හේරත් 2/57.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 110 (පන්දුවාර 43): උපුල් තරංග 26*, දිමුත් කරුණාරත්න 24, ධනංජය සිල්වා 16, කෞෂාල් සිල්වා 11, කුසල් මෙන්ඩිස් 11, වර්නන් ෆිලැන්ඩර් 4/27, කාගිසෝ රබාඩා 4/37, කේශව් මහරාජ් 2/32.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 224 (පන්දුවාර 51.5): ඩීන් එල්ගාර් 55, ෆැෆ් ඩූ ප්ලෙසිස් 41, ස්ටීවන් කුක් 30, ජේ. පී. ඩුමිනි 30, සුරංග ලක්මාල් 4/69, රංගන හේරත් 1/32.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 224 (පන්දුවාර 62): ඇන්ජෙලෝ මැතිව්ස් 49, රංගන හේරත් 35, කෞෂාල් සිල්වා 29, දිනේෂ් චන්දිමාල් 30, වර්නන් ෆිලැන්ඩර් 3/48, කාගිසෝ රබාඩා 6/55.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට