මැතිව්ස් සහ චන්දිමාල් ගෞරවය බේරා ගැනීමේ සටනක

884
slvsa day 3

කේප්ටවුන් හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවට පත්වන විට තරග ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 507ක දැවැන්ත ඉලක්කයක් ලුහුබඳින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබාගෙන අසීරු තත්වයක පසුවේ. එබැවින් මෙම තරගය මේ වන විටත් තරග ජයකට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් කෙරෙන සටනක් බවට පත්ව තිබේ.

අද උදෑසන තෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 35ක් ලබාසිටි දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 317ක් ඉදිරියෙන් පසුවිය. එබැවින් කිසිදු පීඩනයකින් තොරව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් කෙරෙන් පළ වූයේ නිදහස් පිතිකරණ රටාවකි. ප්‍රථම ඉනිමේදී ශතකයක් රැස් කළ ඩීන් එල්ගාර් අද දිනයේදී ද අර්ධ ශතකයක් රැස් කළේ කේප්ටවුන් තණතීරුවෙන් පිතිකරුවෙකුට ලබාගත හැකි උපරිමය උකහා ගනිමිනි. නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් රැස් කළේය.

දකුණු අප්‍රිකානු වේග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකාව අන්ත අසරණ වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (03) නිමාවට පත්වන විට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු මුළුමනින්ම බිඳ වැටී තිබේ.

මෙම ටෙස්ට් තරගාවලිය පුරාවට ලකුණු ඉඩෝරයකට මුහුණපා සිටින ටෙම්බා බවුමා අද දිනයේදී ද ලකුණු නොලබාම දුවද්දී දැවී ගියේ ධනංජය සිල්වා ඉලක්කය බලා විසිකළ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම නිසයි. ඔහුගේ පිත්ත සීමා ඉරෙන් ඇතුළත පැවතියත් එය තණතිල්ල හා ස්පර්ශ නොවීම ඔහුට දෛවය ද සරදම් කල අවස්ථාවක් බවට පත්විය. එසේම ලොව සිටින දක්ෂතම ටෙස්ට් පිතිකරුවෙකු වන හෂීම් අම්ලාටද මෙම තරගය එතරම් සුබවාදී එකක් නොවූයේ ප්‍රථම ඉනිමේ ලකුණු 29ක් රැස්කල ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු නොලබාම දැවී ගිය බැවිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ඉනිමේදී සුපිරි පන්දු යැවීමක නිරත වුනු යොවුන් ක්‍රීඩක ලහිරු කුමාරට දෙවැනි ඉනිමේදී හිමිවූයේ එක් කඩුල්ලක් පමණක් වූවත් සුරංග ලක්මාල් ලකුණු 69ට කඩුලු 4ක් දවාලමින් පන්දු යැවීමේ අංශයේ වැඩි බරක් ඉසිලීය. දුවද්දී දැවී යාම හැරුණු කොට ඉනිමේ බිඳ වැටුනු ඉතිරි කඩුල්ල රංගන හේරත්ට හිමිවිය.

කඩුලු 7ක් බිඳ වැටී ලකුණු 224ක් ලබා සිටි මොහොතේ දකුණු අප්‍රිකානුවන් තම පිතිකරණය පිලිබඳ සෑහීමකට පත්වූ අතර සිය ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකාව පිතිකරණය සඳහා කැඳවීමට නායක ප්ලෙසිස් තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමිවූ අසීරු ඉලක්කය ලකුණු 507කි. එය හඹා යෑම සඳහා පිටියට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ සාම්ප්‍රදායික පිතිකරණ යුගලයට අද දිනයේදී ද සාර්ථක පිතිකරණ‍යක නියැලීමට හැකි නොවීය. ඒ ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 6ක් රැස් කරගෙන සිටි දිමුත් කරුණාරත්න පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය බැවිනි.

එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් ලකුණු 69ක් තුල බිඳ වැටුනු අතර පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලද ධනංජය සිල්වාගේ කඩුල්ල ද ඊට ඇතුළත් විය. ඔහු වෙත යොමුවුනු පන්දුවකට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කඩුල්ල මුවා කිරීමේ වරද සඳහා ඉල්ලීමක් කල අතර එයට පිටියේ විනිසුරු අවනත විය. නමුත් පසුව දැක්වුනු පුනරූපන මගින් පැහැදිලි වූයේ එය පා ඉන්නට සෑහෙන තරම් ඈතින් ඇදී යන පන්දුවක් බවයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා පිළේ අවාසනාවට එම විනිසුරු තීරණය අභියෝගයට ලක් කරන්නට ධනංජය සිල්වාට හෝ අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් ඇන්ජෙලෝ මැතිව්ස්ට සිත් පහළ නොවීය.

එතැන් සිට පිටියේ එක්වුනු දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගනිමින් දිනය නිමාවන තෙක්ම කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූහ. ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල වෙනුවෙන් මේ වන විට නොබිඳුණු ලකුණු 61ක සබඳතාවයක් පවත්වාගෙන සිටියි. මෙම සබඳතාවය හෙට දිනයේදී තව තවත් වර්ධනය වී ශ්‍රී ලංකාවට දෙවැනි ටෙස්ට් තරගයේදී යම් තරමක හෝ ධනාත්මක සලකුණක් පෙන්නුම් කිරීමට හැකි වන්නේ නම් එය ඉදිරියට පැවැත්වීමට නියමිත තරග සඳහා හෝ යහපතක් වනු ඇත.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 392 (පන්දුවාර 116): ඩීන් එල්ගාර් 129, ක්වින්ටන් ඩි කොක් 101, ෆැෆ් ඩූ ප්ලෙසිස් 38, හෂීම් අම්ලා 29, ලහිරු කුමාර 6/122, සුරංග ලක්මාල් 2/93, රංගන හේරත් 2/57.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 110 (පන්දුවාර 43): උපුල් තරංග 26*, දිමුත් කරුණාරත්න 24, ධනංජය සිල්වා 16, කෞෂාල් සිල්වා 11, කුසල් මෙන්ඩිස් 11, වර්නන් ෆිලැන්ඩර් 4/27, කාගිසෝ රබාඩා 4/37, කේශව් මහරාජ් 2/32.

දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 224 (පන්දුවාර 51.5): ඩීන් එල්ගාර් 55, ෆැෆ් ඩූ ප්ලෙසිස් 41, ස්ටීවන් කුක් 30, ජේ. පී. ඩුමිනි 30, සුරංග ලක්මාල් 4/69, රංගන හේරත් 1/32.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 130 (පන්දුවාර 40): ඇන්ජෙලෝ මැතිව්ස් 29*, කෞෂාල් සිල්වා 29, දිනේෂ් චන්දිමාල් 28*, වර්නන් ෆිලැන්ඩර් 2/34, කාගිසෝ රබාඩා 2/22.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට