කොදෙව් තරගයෙන් උගත් දෑ ගැන ස්ටාක් කතා කරයි

229

2019 ලෝක ක්‍රිකට් වසන්තයේ උණුසුම දිනෙන් දින වැඩි වෙමින් පවතී. නොසිතූ පරාජයන් මෙන්ම නොසිතූ දක්ෂතා ද පෙන්නුම් කරමින් ලෝක ක්‍රිකට් කුසලානය දෙවන සතිය වෙත පැමිණ තිබේ. පසුගිය දා වර්තමාන ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ඉතාමත් උද්වේගකර තරගයක් බවට පත්විය.

එම තරගය ට්‍රෙන්ට් බ්‍රිජ් හි පැවති අතර ආරම්භයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ කොදෙව් කණ්ඩායම ඕස්ට්‍රේලියානු මුල් පිතිකරුවන් 5 දෙනෙකුම ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නේ ලකුණු 79ක් තුල දී ය.

බලාපොරොත්තු සුන්වූ ඕස්ට්‍රේලියාවට බලාපොරොත්තුවක් එක් කිරීමට නේතන් කෝල්ටර් නයිල් හා ස්ටීව් ස්මිත් සමත්වන්නේ හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 102ක සම්බන්ධතාවක් ගොඩනගමිනි.

7 වැනි කඩුල්ල ලෙස ස්මිත් දැවී යන්නේ ලකුණු 73 ක් වාර්තා කරමිනි. නේතන් 9 වැනි කඩුල්ල දක්වා පිටියේ රැඳී සිටින අතර ඔහු තම එක්දින දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 92ක් වාර්තා කරන්නේ පන්දු 60ක් තුල දී ය. ඕස්ට්‍රේලියා කණ්ඩායම. පන්දුවාර 49ක් තුල ලකුණු 288ක් වාර්තා කිරීමට සමත් විය.

ස්ටාක් හා කෝල්ටර්-නයිල් කැන්ගරුවන් බේරා ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දසවැනි තරගය අද (06) එංගලන්තයේ නොටිංහැම් හීදී නිමාවට පත්විය. එහි දී…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 252ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවූ අතර ඕස්ට්‍රේලියානු සුපිරි වේගපන්දු ‍යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ගේ සුපිරි පන්දු ‍යැවීම හමුවේ ඔවුන් ලකුණු 273කට සීමා විය. පන්දු ‍යැවීමේ දී මිචෙල් ස්ටාක් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිචෙල් ස්ටාක් පවසා සිටියේ තමන් ලෝක කුසලානය රැකගැනීමට නව උපක්‍රමයක් සොයා ගත් බවයි.

“අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කළේ නෑ ඒ තරගයේ දී. අපි ගොඩක් හොඳින් ක්‍රීඩා කළා. අපිට තවත් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්” ස්ටාක් පවසා සිටියා.

“ජයග්‍රහණය කරන්න අලුත් ක්‍රම හොයාගන්න එක ගොඩක් වටිනවා. නේතන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා අපිව අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවකට අරන් යන්න”

“මේ වගේ වෙලාවල් වලදී අපි ධෛර්‍යමත් වෙන්න ඕන. අපි හැමවෙලේම විශ්වාසය තියාගත්තා. අපේ පන්දු ‍යවන්නන් ඉතාමත් හොඳින් පන්දු ‍යැවුවා. අපිට කඩුලු කිහිපයයි ලබාගන්න ඕන වෙලා තිබුණේ. ”

වමත් වේගපන්දු ‍යවන්නෙක් වන ස්ටාක් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයා වන ක්‍රිස් ගේල් ලකුණු අතරට ඒමට පෙර ක්‍රීඩාගාරයට යැවූ අතර තීරණාත්මක කඩුලු වන ඇන්ඩ්‍රේ රසල් හා ජේසන් හෝල්ඩර් දවා ගැනීමට ද සමත් විය.

ඕස්ට්‍රේලියාවේ පැවති 2015 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 22ක් ලබා ගත් මිචෙල් ස්ටාක් එම තරගාවලියේ වීරයා බවට ද පත්විය.

ඕස්ට්‍රේලියාව බේරගත්ත කෝල්ටර්-නයිල් සංචිතයෙන් හැලේ?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (6) ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර…

“වසර 4කට පෙර ලබාගත් අත්දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වුනා. තරගයේ අවසන් පන්දුවාර යවන්න පුළුවන් ක්‍රීඩකයන් ගත්තම අපිට ගොඩක් විකල්ප තියනවා”

හිටපු ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් පවසා සිටියේ තම සුපුරුදු රිද්මයට පැමිණ සිටින මිචෙල් ස්ටාක් “හොඳම” පන්දු ‍යවන්නා බවයි.

“ඔහු පන්දු ‍යැවීම ආරම්භ කරන විදිහ, පන්දුවේ දෝලනය ලබාගන්න විදිහ, තරගයේ අවසන් වෙලාවේ දී ඔහු around the wicket පන්දු ‍යවලා අවසන් ක්‍රීඩකයන් අසරණ කරනවා. ඔහු පන්දු ‍යවන වේගය හා කෝණය පිතිකරුවන්ට පහර දීමට අපහසු එකක්” බෝඩර් පවසා සිටියා.

ඇලන් බෝඩර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු ලෝක කුසලානය ජයග්‍රහණය කළ නායකයා වේ. ඒ 1987 වසරේ දී ය. ඉන් පසු සිව් වතාවක් ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයට සහභාගි වන්නේ ප්‍රබලම කණ්ඩායම ලෙස අනාවැකි පලකරමිනි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේ දී වැඩිම ලකුණු ලාභියා වූ ශායි හෝප් ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 68කි. තරගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කල ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි.

“අපි දන්නවා මේක අමාරු තරගයක් කියලා. ජයග්‍රහණය කරන්න බැරි වුන එක ගැන කනගාටුයි.”

සැම්පා කට වරද්දා ගෙන

ඊයේ (7) ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී නිමාව දුටු ඕස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන ක්‍රිකට් තරගය අතරතුර…

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොදෙව් කණ්ඩායම තම දක්ෂතා විශ්වාස කළ යුතු බවත් ඔසේන් තෝමස්, ශෙල්ඩන් කෝට්‍රෙල් හා ඇන්ඩ්‍රේ රසල් වැනි වේගපන්දු ‍යවන ක්‍රීඩකයන් කෙටි පන්දු ‍භාවිතය වඩාත් හොඳින් කළ යුතු බවත්ය.

“අලුත් පන්දුවෙන් කඩුලු ලබාගන්නා හැමවෙලාවකම අපි පීඩනය ලබා දෙනවා ප්‍රතිවාදීන්ට. අපේ අවාසනාවට ඔවුන්ගේ අවසන් පිතිකරුවන් ඉක්මනින් දවා ගන්න බැරි වුනා”

ඕස්ට්‍රේලියා කණ්ඩායම අද (09) ඉන්දියාව සමඟින් තරග බිමට පිවිසෙන අතර කොදෙව් කණ්ඩායම හෙට (10) දකුණු අප්‍රිකාව මුණගැසෙනු ඇත.

2019 ලෝක කුසලාන තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<