2025 ශූරයින්ගේ කුසලානය පාකිස්තානයේ පැවැත්වීම ගැන ICCය අදහස් දක්වයි

1750
(Courtesy - News.com.au)

2025 ICC ශූරයින්ගේ කුසලානය සඳහා පාකිස්තානයට ගමන් කිරීමට අනෙකුත් කණ්ඩායම් මැලිකමක් නොදක්වනු ඇතැයි ICCය පවසා සිටිනවා.

2025 ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට ලබා දෙන බව ICCය පසුගිය සතියේ දී නිවේදනය කළා. පාකිස්තානය තුළ ICC තරගාවලියක් පැවැත්වෙන්නේ දශක දෙකකට පමණ පසුව වීම විශේෂත්වයක්.

අවසන් වරට පාකිස්තානය සත්කාරකත්වය දැරූ ICC තරගාවලිය වන්නේ 1996 ක්‍රිකට් ලෝක කුසලානයයි. එම තරගාවලිය සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව ද සම සත්කාරකත්වය දැරුවා.

2009 වසරේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කරගනිමින් ලාහෝර්හි දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා දීර්ඝ කාලයක් පාකිස්තානය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වුනේ නැහැ.

“අපිට පෙනෙන ආකාරයට අනිවාර්යයෙන්ම කණ්ඩායම් පාකිස්තානයට යයි”, ICC නිලධාරි Greg Barclay පවසා තිබුණා.

“ICC තරගාවලියක් පාකිස්තානයේ පැවැත්වෙන්නේ වසර ගණනාවකට පසුවයි.”

ආරක්ෂක හේතු මත පසුගිය සැප්තැම්බර් මාසයේ දී නවසීලන්තය හා එංගලන්තය සිය පාකිස්තාන සංචාරයන් අත්හැර දැමුවා. Barclay තවදුරටත් පවසා සිටියේ පාකිස්තානයේ තරගාවලිය සාර්ථකව පවත්වන්නට නොහැකි වේ යැයි විශ්වාස කරන්නේ නම් ICCය ඔවුන්ට සත්කාරකත්වය ලබා නොදෙන බවයි.

“පාකිස්තානයට තරගාවලියේ සත්කාරකත්වය දරන්නට නොහැකි වේ යැයි සිතුවා නම් අපි ඔවුන්ට තරගාවලියේ සත්කාරකත්වය ලබා දෙන්නේ නැහැ. මේක ඔවුන්ට අනගි අවස්ථාවක්.”

“2025 වනතුරු තරගාවලිය පැවැත්වෙන්නේ නැහැ. අනෙක් රටවල් වගේම ඔවුන් ඒ වෙද්දී තරගාවලියේ ආරක්ෂාව පිළිබඳව සැලැස්මක් ඉදිරිපත් කරයි. අපිට විශ්වාසයි තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙයි.”

Times Of India ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<