විශිෂ්ට ජයක් සමඟින් ශ්‍රී ලංකා යෞවනයින් අවසන් මහා තරගයට

3734

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය අද (24) ස්ටැලන්බොශ් හිදී නිමාවට පත්විය. එහිදී ලකුණු 240ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත් ශ්‍රී ලංකා යෞවනයින් අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව උදාකර ගත්හ.

තරංග ODI නායකත්වයට; වීරක්කොඩි සහ මධුශංක ප්‍රථම වරට සංචිතයට

සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ලබන ජනවාරි 28 වනදා ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වැඩ බලන එක්දින නායකයා ලෙස තේරීම් කමිටුව විසින් උපුල් තරංගව නම් කර ඇත…

තරග ආරම්භයට ප්‍රථම ක්‍රීඩාංගණයට ඇද වැටුනු වර්ෂාව නිසා තරගය ආරම්භ වූයේ මද ප්‍රමාදයකින් අනතුරුවයි. මීට පෙර තරග වලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හොඳින් දක්ෂතා දක්වා තිබීම නිසා මෙම තරගය වෙනුවෙන් නව ක්‍රීඩකයින් තිදෙනෙකුට යොවුන් පිළේ අවස්ථාව හිමිව තිබුණි. ඒ අනුව ක්‍රිෂාන් සංජුල, මනෙල්කාර් ද සිල්වා සහ හරීන් බුද්ධිල අද තරගය සඳහා ක්‍රීඩා කරන්නට සුදුසුකම් ලැබූහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යෞවනයින් තමන්ට නුපුරුදු ක්‍රීඩා පිටියකදී සුපිරි පිතිකරණයක යෙදෙමින් නියමිත පන්දුවාර 45 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 303ක් රැස් කළහ. ආරම්භක පිතිකරුවන් වශයෙන් පිටියට පිවිසි කඩුලු රකින පිතිකරු විශ්ව චතුරංග සහ නායක අවිශ්ක ප්‍රනාන්දු ප්‍රථම කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 191ක දැවැන්ත සබඳතාවය ඒ සඳහා මනා පිටිවහලක් විය.

ශ්‍රී ලංකා යෞවනයින්ගේ පිතිකරණ හැකියාව ලොවටම විදහා දැක්වූ අවිශ්ක ප්‍රනාන්දු අද පන්දු 90ක් තුලදී හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 108ක් රැස් කළේය. ඔහුට නොදෙවෙනි සුපිරි ඉනිමක නිරත වුනු විශ්ව චතුරංග පන්දු 101ක් තුලදී ලකුණු 103ක් රැස්කලේ හතරේ පහර 12ක් ඊට අන්තර්ගත කරමිනි. මීට අමතරව දකුණත් පිතිකරු ක්‍රිෂාන් සංජුල ලකුණු 58ක් රැස් කළේය. ශ්‍රී ලංකා යොවුන් පිළ නියෝජනය කරන ප්‍රබල තුරුම්පු දෙකක් වන කමිඳු මෙන්ඩිස් සහ ශම්මු අශාන් අද ලකුණු නොලබාම දැවී ගියත් මුල්පෙළ පිතිකරුවන් දමා තිබූ සවිමත් අත්තිවාරම නිසා එය ශ්‍රී ලංකා පිළට තර්ජනයක් නොවීය.

ලකුණු 304ක දැවැන්ත ඉලක්කයක් සැබෑවක් බවට පත්කර ගැනීම සඳහා උත්සාහ දැරූ සිම්බාබ්වේ යොවුන් පිතිකරුවන්ට පන්දුවාර 20ක් හෝ ක්‍රීඩා කිරීමට හැකි නොවීය. ඒ පන්දුවාර 19යි පන්දු 3ක් ගත වෙද්දී ඔවුන් සියල්ලන්ටම නැවත හැරී ගොස් ක්‍රීඩාගාරයේ විවේක සුව විඳින්නට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් ඉඩ සැලසූ බැවිනි. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණක් හෝ වාර්තා කර ගත්තේ ටිනාශි ජුලියන් (11) සහ ඩැනියෙල් විඩ්සායි (10) පමණි.

සිම්බාබ්වේ ඉනිම සුණුවිසුණු කර දැමූ දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක මනෙල්කාර් සිල්වා ලකුණු 24ට කඩුලු 3ක් බිඳ දැමූ අතර ප්‍රවීන් ජයවික්‍රම, හරීන් බුද්ධිල සහ මිශේන් සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. අද තරගයේදී දැක්වූ සුපිරි දක්ෂතා නිසා තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා නායක අවිශ්ක ප්‍රනාන්දු (283) සමත් වූ අතර විශ්ව චතුරංග (242) එහි දෙවන ස්ථානයේ පසුවෙයි. එසේම වැඩිම කඩුලු ලාභීන් අතර ප්‍රථම ස්ථානය නිපුන් රංසිකට (12) හිමිව ඇති අතර තිසරු ඩිල්ශාන් (7) එහි දෙවන ස්ථානය දිනාගෙන ඇත.

ශ්‍රී ලංකා යෞවනයින් මේ වනවිටත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති නිසා ලබන බ්‍රහස්පතින්දා (26) දකුණු අප්‍රිකානු යෞවනයින් සමගින් පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාවට අවසන් තරගයට පෙර සූදානමක් වශයෙන් භාවිතා කල හැක.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 303 (පන්දුවාර 45): අවිශ්ක ප්‍රනාන්දු 108, විශ්ව චතුරංග 103, ක්‍රිෂාන් සංජුල 58, මනෙල්කාර් ද සිල්වා 19, ජේඩන් ශැඩන්ඩෝෆ් 2/50.

සිම්බාබ්වේ යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 63 (පන්දුවාර 19.3): ටිනාශි ජුලියන් 11, ඩැනියෙල් විඩ්සායි 10, මනෙල්කාර් ද සිල්වා 3/24, ප්‍රවීන් ජයවික්‍රම 2/2, මිශේන් සිල්වා 2/10, හරීන් බුද්ධිල 2/15.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට