’96 ලෝක ශූරයන්ගෙන් තවත් ජාතික මෙහෙවරක්

328
Sri Lankan Cricketers Association launches Benevolent Fund

1996 ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංකල්පයක් මත, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැප වූ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආධාර කිරීම පිණිස අරමුදලක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පියවර ගෙන ඇත.

පසුගිය ලිපි: දකුණු අප්‍රිකානු වේග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකාව අන්ත අසරණ වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යමය සහ හදිසි මුදල් අවශ්‍යතා වෙනුවෙන් මුදල් පිරිනැමීම උදෙසා රු. මිලියන 3.6ක මුදලකින් මෙම අරමුදල පිහිටුවනු ලැබීය. අරමුදලේ භාරකාරීත්වය දරන්නේ ’96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ හිටපු නිලධාරීන් වන ග්‍රැහැම් ලැබ්රෝයි (සභාපති) සහ ප්‍රියන්ත උදයරත්න (භාණ්ඩාගාරික) යන මහත්වරුන්ය.

අරමුදලෙන් මුදල් ලබා ගැනීම සිදුවිය යුත්තේ ’96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සාමාජිකයෙකු හරහා ය. භාරකාරීත්වය විසින් ඊට අදාළ අනුමැතිය ලබාදීමෙන් පසු පැය 48ක් තුළ ඉල්ලුම් කළ මුදල හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමීම සිදුවේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය වෙනුවෙන් හිටපු ක්‍රීඩකයන් ප්‍රශස්ත දායකත්වයක් සපයා තිබෙනවා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. අපේ වෑයම, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වටිනා මෙහෙවරක් කරපු මේ හිටපු ක්‍රීඩකයන්ට මුදල් අවශ්‍යතාවක් මතුවන දුෂ්කර අවස්ථාවකදී ඔවුන්ට සහය වීම.” ‘යැයි ‘96 ලෝක ශූර කණ්ඩායමේ අග්‍රගන්‍යම පන්දු රකින්නා වූ, එමෙන්ම මෙම අරමුදලේ භාරකරුවෙකුද වන රොෂාන් මහානාම මහතා පැවසීය.

අරමුදල සඳහා මුදල් රැස්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයත්, ’96 ලෝක ශූර කණ්ඩායමත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව යන දෙරටදීම විවිධ ඉසව් සහ තරඟ සංවිධානය කර ඇත.

’96 ලෝක කුසලානය දිනාගැනීමට විසි වසරක් සපිරුණු 2016 වසරේදී, ලෝක ශූර කණ්ඩායම සහ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායමත් අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයක් පැවති අතර ඉන් උපයාගත් රු. මිලියන 4ක මුදලක් වැයකරමින් පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවට ජල පිරිපහදු ව්‍යාපෘතියක් ආරම්භ කරදෙන ලදී. වැයවූ මුදලට අමතරව එක්වූ රු. ලක්ෂ 8ක මුදලකින් මෙම අරමුදලේ මූලික තැන්පතුව සිදුකරන ලදී.

ඊට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් වයස අවුරුදු 70 ඉක්මවූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් 7 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ප්‍රදානය කරන ලදී.

2016 ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස වලදී අසංක ගුරුසිංහ මහතාගේ ආරාධනය පරිදි ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත වූ ’96 ලෝක ශූර කණ්ඩායම, එහිදී විශාල මුදල් ප්‍රමාණයක් රැස්කර ගැනීමට සමත් වූ අතර ගුරුසිංහ මහතාට ඒ සඳහා සහය වූයේ මෙල්බර්න්හි රොන් මීර්වල්ඩ්, කීත් කෘස් සහ සිඩ්නි හි චානක සේනානායක යි.

“මෙම අරමුදල පිහිටුවීමත්, අවශ්‍යතා සහිත පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන විවිධ ක්‍රියාකාරකම් අතරට එක්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස අප එකට එක්ව සිටීමත් අවශ්‍යතාවයක්. පසුගිය කාලේ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ, විශේෂයෙන්ම ’96 ලෝක ශූරයන්ගේ සහභාගීත්වයෙන් මේ වෙනුවෙන් විවිධ මුදල් රැස්කිරීමේ ක්‍රියාකාරකම් කරන්නට හැකිවුණා.”යි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි පැවසීය.

මෙම අරමුදලේ මුල් ප්‍රතිලාභීන් වූයේ ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් ලෙසද දීර්ඝ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සේවය කළ ඒ. ජේ. සමරසේකර සහ රසල් හාමර් යන දෙපලයි. මෙම අවස්ථාවට ’96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ තවත් සාමාජිකයන් කිහිපදෙනෙකුද එක්ව සිටියේය.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට