තුන් ඉරියව් දස්කම් ඕස්ට්‍රේලියාවේ ජය මග සකසයි

365
SL vs AUS

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය වාර්තා කිරීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති 4වන එක්දින තරගය කඩුලු 6කින් ජය ගනිමිනුයි. නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම මෙන්ම යලිත් වරක් අසාර්ථක වූ මුල් පෙළ, මෙම තරගයේ පරාජයට ප්‍රධාන හේතුවක් විය.

පසුගිය ලිපි: කැන්ගරුවන් ඩිල්ශාන්ගේ සමුගැනීමේ සාදය වනසති

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට එක්වූයේ 19 හැවිරිදි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හට ජාත්‍යන්තර එක්දින වරම් ලබා දෙමිනුයි. කෙසේ වෙතත් ඔහුගේ පළමු ජාත්‍යන්තර ඉනිම පන්දු 2කට සීමා වූයේ, සිව්වන වරටත් මිචෙල් ස්ටාක් හට පළමු පන්දුවාරයේ කඩුල්ලක් දවා ගන්නට ඉඩ සලසා දෙමිනි.

ජෝන් හේස්ටින්ග්ස්ගේ කඩුලු දඩයමේ පළමු ගොදුර බවට පත්වෙමින් කුසල් මෙන්ඩිස් කඩුලු රකින්නා අතට ලබා දුන් උඩපන්දුව පිටියේ විනිසුරු නොදැවී යාමක් බවට සංඥා කළත් DRS තාක්ෂනය හරහා එම තීරණය වෙනස් කරන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදුන් දිනේෂ් චන්දිමාල් කලකට පසු අසාර්ථක වූයේද කඩුලු රකින්නා අතටම උඩපන්දුවක් ලබා දෙමිනුයි. චන්දිමාල්ගේ කඩුල්ල ස්කොට් බෝලන්ඩ් හට හිමිවන ලදී.

ලකුණු 31කට කඩුලු 3ක් දැවී අසරණ තත්ත්වයේ පසුවූ ශ්‍රී ලංකා ඉනිමට යම් සහනයක් ලබා දුන්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ගොඩනැගු සබඳතාවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ පළමු වරට ආරම්භක පිතිකරණ වගකීම භාරගත් ධනංජය ආකර්ශනීය පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 76ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් ද තම ඉනිමට ඇතුලත් කරමිනුයි.

මැතිව්ස් එතරම් විශ්වාසයකින් තොර පිතිහරඹයක් දියත් කළද ලකුණු 82ක සබඳතාව සඳහා ලකුණු 28ක දායකත්වයක් සපයන්නට සමත් විය. කෙසේ වෙතත් මේ සබඳතාව බිඳවැටුණේ මැතිව්ස්ගේ පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයක් මතුවීම හේතුවෙනුයි.

මැතිව්ස් පිටියෙන් ඉවත් වීමත් ඉන් මද වෙලාවකට පසු ධනංජය දැවීයාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. යලිත් වරක් තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ පිතිකරණ දායකත්වය කණ්ඩායමට අහිමිවීම කැපී පෙනුනි. කලකට පසු යලිත් කාණ්ඩායමට එක්වීමේ වරම් ලද ඇන්ජලෝ පෙරේරා ලකුණු 7කටත් තිසර පෙරේරා ලකුණු 13කටත් දැවී යන ලදී.

කුසල් පෙරේරා මැදපෙළ පිතිකරුවෙක් ලෙස යොදා ගැනීම කෙතරම් ප්‍රයෝජනවත්ද යන්න පිලිබඳව ප්‍රශ්නාර්ථයක් සමගින් ඔහුගේ ඉනිම ලකුණු 6කට සීමා විය.

සචිත් පතිරණ සහ දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා ඉනිමට පසු පෙලින් ජීවයක් එක් කරන්නට සමත් වූයේ ලකුණු 34ක අගනා සබඳතාවක් සමගිනුයි. දිල්රුවන් ලකුණු 18කට දවාගන්නට හේස්ටින්ග්ස් සමත් වූ අතර ආබාධයත් සමගින්ම ඇන්ජලෝ මැතිව්ස් නැවත ක්‍රීඩාංගනයට පැමිණියේ ශ්‍රී ලංකා ඉනිමට පන්දු වාර 50 දක්වා ගෙනයාමේ අරමුණ ඇතිවයි.

කෙසේවෙතත් පතිරණද එම පන්දුවාරය තුලදීම ජෝන් හෙස්ටින්ග්ස්ගේ 5 වන ගොදුර බවට පත්වූ අතර මැතිව්ස්ගේ සහයට ඉතිරි වූයේ අවසන් පිතිකරු අපෝන්සෝ පමණි. මැතිව්ස් හතරේ පහර දෙකක් එල්ල කරමින් තම ලකුණු සංඛ්‍යාව 40 දක්වාත්, කණ්ඩායමේ ලකුණු තත්ත්වය 212 දක්වාත් ඉහල දැමීමෙන් පසු ඉනිමේ අවසන් පන්දුවෙන් දැවී ගියේ හෙස්ටින්ග්ස් හට 6 වන කඩුල්ලේ අයිතියද ලබා දෙමිනුයි.

ලකුණු 213ක ඉලක්කය අසීරු එකක් කර නොගැනීමේ අදිටනින් පිටියට පිවිසි නායක ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච් දෙවන පන්දුවාරයේ සිටම වේගවත් ප්‍රහාරයක් ආරම්භ කරන ලදී. ෆින්ච් පන්දු 18ක් තුල තම අර්ධ ශතකය වාර්තා කල අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ දැවැන්ත හයේ පහර 3ක් ඇතුලත් විය.

වෝනර් ලකුණු 19ක් රැස් කරද්දී ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 73ක් දක්වා ඉහල ගියේ පන්දුවාර 5.3ක් පමණක් වැය කරමිනුයි. තමන් ක්‍රියාත්මක කළ පන්දු 5ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙතට තරගයේ පාලනය නතු කර ගැනීමේ ඉඩක් විවර කරන්නට සචිත් පතිරණ සමත් විය. වෝනර් සහ ෆින්ච්ට අමතරව උස්මාන් කවාජා ද සචිත්ගේ කඩුලු දඩයමට ගොදුරු විය.

මෙම තරගයේදීද ඕස්ට්‍රේලියානු මැදපෙළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් විය. ලකුණු 127කදී ඕස්ට්‍රේලියානු සිව්වන කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ්, දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ දැවී ගියද එය නිපන්දුවක් බව රූපවාහිනී පුනරූපන මගින් අනාවරණ වීම හේතුවෙන් දිල්රුවන්ට එම කඩුල්ල අහිමි විය. මෙම එක්දින තරගාවලියේ පළමු නිපන්දුව වූ එය ශ්‍රී ලංකාවට අනවශ්‍යම අවස්ථාවේ වාර්තා වීමෙන් උපරිම ප්‍රයෝජන ගත් හෙඩ්, ජෝජ් බෙයිලි සමගින් එක්ව සිව්වන කඩුල්ලේ සබඳතාව ලකුණු 100ක් දක්වා ගොඩනගන ලදී.

ජයග්‍රහණය අසලටම පැමිණි පසු දිල්රුවන්ගේම පන්දුවක් හමුවේ හෙඩ්ගේ ඉනිම ලකුණු 40කට අවසන් වුවත් නැවත තරගයට අවතීර්ණ වීම සඳහා අවශ්‍ය තරම් ලකුණු ශ්‍රී ලංකාව සතුව පැවතියේ නැත. ජෝජ් බෙයිලි නොදැවී ලකුණු 90ක් වාර්තා කරමින් ජයග්‍රාහී ලකුණ හඹා යාමේ නියමුවා බවට පත් විය. ඔහුහේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහරකින් වර්ණවත් වෙද්දී, මැතිව් වේඩ් හයේ පහරකින් ජයග්‍රාහී කඩඉම පසුකර යද්දී ඔස්ට්‍රේලියාව සතුව තවත් පන්දුවාර 19ක් සහ කඩුලු 6ක් ඉතිරිව තිබුණි.

මේ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට යලි අභිබවාලිය නොහැකි අයුරින් තරග 3 – 1ක් ලෙස පෙරමුණ ගන්නට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. ජෝන් හේස්ටින්ග්ස් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගන්නා ලදී.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට