තියුණු සටනකින් පසු ශ‍්‍රී ලංකාව ලකුණු 12කින් පරදියි

1008

තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 12ක පරාජයක් අත්වින්දේය. ශ්රෝ බංග්ලා ක්‍රීඩාංගණයේ 100 වැනි එක්දින තරගය ලෙසින් පැවති මෙම තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 291ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.1ක දී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 278ක් පමණි.

[rev_slider LOLC]

හතුරුගේ මිතුරන් මුණගැසීමට පෙර

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ඊයේ (15) ආරම්භ වූ අතර ශ්‍රී ලංකා…

මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවත්, පෙර තරගවලට සාපේක්ෂව බැලීමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලීත්වය ඉතා ඉහළින් පැවතීම කැපී පෙනුණි.

සිම්බාබ්වේ පිලට එරෙහිව කඳවුරු බැඳීමේ දී විශේෂඥ පිතිකරුවන් 6 දෙනෙකු කණ්ඩායමට එක්වී සිටිය ද, ඔවුන් ලකුණු 194ක දී ඔවුහු නරඹන්නන් බවට පත්වෙද්දී වගකීම කරට ගත් තිසර පෙරේරා ජයග්‍රහණය පිළිබඳ නොතිබූ බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාව වෙත ඇති කිරීමට සමත් විය. හයේ පහර 3ක් සහ හතරේ පහර 5කින් සමන්විතව පන්දු 37ක දී තිසර රැස් කරන ලද ලකුණු 64ක ඉනිම ප‍්‍රධාන කොට අවසන් පන්දු 21 තුළ ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය සඳහා ලකුණු 16ක් පමණක් රැස් කර ගත යුතු විය. එහෙත් ටෙන්ඩායි චතාරාගේ පන්දුවක් හමුවේ සිකන්දර් රාසා අතට උඩපන්දුවක් දී තිසර දැවී නොගියේ නම් තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව දෙසට දෝලනය වනු නොඅනුමානය.

ලකුණු 11ක් ලබා සිටි උපුල් තරංග මුලු ලකුණු සංඛ්‍යාව 46ක්ව තිබිය දී දැවී ගිය අතර ලකුණු පුවරුවට ලකුණක් එක්වද්දී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී යෑම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය. එහෙත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් පෙරේරාට එක්වූ නායක මැතිව්ස් ලකුණු 85ක සම්බන්ධතාවක් පවත්වමින් පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තැබීය.

ආරම්භයේ සිට අර්ධ ශතකය ලබාගන්නා තෙක්ම ප‍්‍රහාරාත්මක ලෙසින් පිත්ත හැසිර වූ කුසල් පෙරේරා, දෙවැනි එක්දින ශතකයට ලකුණු 20ක් ඈතින් සිටිය දී දැවී ගියේ ශ්‍රී ලංකා පිලේ දැවී ගිය තෙවැනි පිතිකරුවා බවට පත්වෙමිනි. තම 09 වැනි අර්ධ ශතකය පන්දු 43ක දී සපුරාගත් කුසල් ඉතිරි ලකුණු 30 රැස් කර ගැනීම සඳහා පන්දු 51කට මුහුණ දීම ද කැපී පෙනුණි.

හයේ පහර 2කින් සහ හතරේ පහර 8කින් අලංකාර වුන කුසල්ගේ ඉනිමේ ලකුණු 57ක් ලබා සිටිය දී ඩීප් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි සොලමන් මයර් වෙතට ද, ලකුණු 77ක් ලබා සිටිය දී ග්‍රැහැම් ක‍්‍රිමර් වෙතට පෙරළා ලබා දුන් උඩ පන්දු අත හැරීම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳි සිටීමට වාසනාවන්ත විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්, ලකුණු ලබා ගැනීමට පෙර කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකර ගැනීම සඳහා කරන ලද ඉල්ලීම ඔක්සන්ෆර්ඩ් විනිසුරු විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා එය තෙවැනි විනිසුරු විමසීම දක්වා දුර දිග ගියේය. එහෙත් පුනරූපණවලට අනුව පිටියේ විනිසුරුගේ තීරණයට තෙවැනි විනිසුරු එකඟ වීම නිසා සිම්බාබ්වේ පිල සතු වූ එකම විනිසුරු විමසීමේ ක්‍රමවේදය ද අහිමිව ගියේය.

ශ‍්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6කට ලකුණු 290ක් රැස් කරගත්තේය. ඉනිම ඇරඹි හැමිල්ටන් මසකඩ්සා සහ සොලමන් මයර් සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පන්දු 78ක දී ලකුණු 75ක් ලබා ගත් නමුත් තිසර පෙරේරාගේ පන්දුවකට එල්ල කරන ලද පහරක් වැරදී කුසල් මෙන්ඩිස්ගේ දෑත් අතර සිරවීම නිසා මයර්ගේ ඉනිම ලකුණු 34 දී නිමාවට පත්විය.

තරමක ඉපිලීමකින් සහිත වූ තණතීරුවේ දී ක‍්‍රියාත්මක වූ සුරංග ලක්මාල්, ක්‍රෙක් අර්වින්ව ලකුණු 02ක දී දවා ගැනීමට සමත් විය. ඉකුත් වසරේ උඩ පන්දු 91ක් අත හරිමින් ජාත්‍යන්තරය හමුවේ දැඩි පසුබෑමකට ලක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන් පාඩමක් ඉගෙන ගෙන ඇති බවක් අද දිනයේ දී දිස් නොවූයේ ලකුණු ලබා ගැනීමට පෙර අර්වින් ලබා දුන් පහසු උඩ පන්දුව කුසල් මෙන්ඩිස් විසින් අත හැරීම නිසාය.

සිම්බාබ්වේ ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ මසකඩ්සා තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වන විට පන්දු 83ක දී ලකුණු 73ක් රැස් කරගෙන සිටියේය. හතරේ පහර 10කින් සිය ඉනිම සරසා ගෙන සිටි මසකඩ්සා, අසේල ගුණරත්නගේ ගොදුරක් බවට පත්වෙමින් පිටියෙන් ඉවත්වන විට පන්දු 83ක දී ලකුණු 73ක් රැස් කරගෙන සිටියේය.

ලකුණු 142ක් සටහන්ව තිබිය දී මසකඩ්සා දැවී ගිය ද සටන අත් නොහළ සිකන්දර් රාසා සිම්බාබ්වේ ඉනිම ලකුණු 300 සීමාව ආසන්නයට රැගෙන යෑමේ පෙර ගමන්කරුවා බවට පත්විය. ප‍්‍රතිවාදී පිතිකරුවන් අතරින් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට වැඩිම හිසරදයක් ගෙන දුන් පිතිකරුවා බවට පත්වූ රාසා, හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමඟින් පන්දු 67කින් ලකුණු 81ක් ලබා සිම්බාබ්වේ ඉනිම අවසන් වන තෙක්ම තම අන්තය ආරක්ෂා කරගත්තේය.

තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශය සමඟ පැවති තරගයේ දී ලකුණු 52ක් ලද රාසා අද රැස් කරගන්නා ලද්දේ තම 10 වැනි එක්දින අර්ධ ශතකයයි. පන්දු 50ක දී තම ලකුණු 50 සම්පූර්ණ කර ගත් රාසගේ වේගවත් ඉනිම හේතුවෙන් අවසන් පන්දුවාර 10 තුළ දී ලකුණු 76ක් උදුරා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවන් සමත්වූහ. මෙහි දී මැල්කමර් වෝලර් සමඟ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61ක දී ලකුණු 57ක් ද, 6 වැනි කඩුල්ල වෙනුවෙන් පීටර් මුවර් සමඟ පන්දු 39ක දී ලකුණු 61ක් ද රැස් කරමින් වටිනා දායකත්වයක් තම කණ්ඩායමට ලබා දීමට රාසා සමත් විය. එම ඉනිම ප‍්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන් ද රාසා පිදුම් ලැබීය.

සිම්බාබ්වෙ පිලේ පළපුරුදුම පිතිකරුවකු වූ බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 29කින් සිම්බාබ්වේ ඉනිම පෝෂණය කළ අතර තිසර පෙරේරාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු පිටියෙන් ඉවත්විය. කෙසේ වෙතත් ටේලර් ලකුණු 10ක් ලබා සිටිය දී අකිල ධනංජයගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය පිතිකරුවකු වුවත්, ප‍්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කිරීමේ දී එය ටේලර්ගේ පිත්තේ යන්තමින් වැදී යන බව පැහැදිලිවම දිස්වීම නිසා තවදුරටත් පිටියේ රුඳී සිටීමේ වාසනාව ඔහුට උදාවිය.

ශ්‍රී ලංකාව අවදානමක දමා ඇෆ්ගනිස්තානය ඉදිරියට

පන්දු යැවීමේ දී කඩුලු 3ක් ලබා ගනිමින් අසේල ගුණරත්න ඉදිරියෙන් සිටිය ද පන්දුවාරයකට අවම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් පන්දු යවන්නන් අතර තිසර පෙරේරා පෙරමුණේ පසුවිය. තම පන්දුවාර 10 හමුවේ ප‍්‍රතිවාදීන්ට ලකුණු 43ක් පමණක් ලබා දී කඩුලු 2ක් දවා ගැනීමට තිසර සමත්වෙද්දී සෙසු පන්දු යවන්නන් සියල්ලන්ටම පන්දුවාරයකට ලකුණු 5කට වඩා වැඩියෙන් ලබා ගැනීමට ප‍්‍රතිවාදී පිතිකරුවෝ සමත්වී සිටියහ.

සිම්බාබ්වේ කඩුලු 6 කට ලකුණු 290 (50*) හැමිල්ටන් මසකඩ්සා 73, සොලමන් මයර් 34, බ්‍රෙන්ඩන් ටේලර් 38, සිකන්දර් රාසා 81, මැල්කම් වොලර් 29, පීටර් මුවර් 19, අසේල ගුණරත්න 37/3, තිසර පෙරේරා 43/2, සුරංග ලක්මාල් 70/1

ශ‍්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 278 (48.1)  කුසල් පෙරේරා 80, ඇන්ජලෝ මැතිව්ස් 42, දිනේෂ් චන්දිමාල් 34, තිසර පෙරේරා 64, ටෙන්ඩායි චටාරා 33/4, ග්‍රැහැම් ක‍්‍රිමර් 62/2, කයිල් ජාවිස් 56/2)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<