තරගාවලියේ ආරම්භක වෙඩිල්ල දකුණු අප්‍රිකාවෙන්

685
Sri Lanka v South Africa 1st ODI report

විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) පෝර්ට් එලිසබත් හිදී තම පළමු එක්දින තරගය සඳහා මුහුණ දුන් අතර, එහිදී කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන 20-20 තරගාවලියේ ලද පරාජය මකාලන්නට කරන මෙහෙයුමේ, පළමු වෙඩිල්ල දියත් කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තුන්කොන් තරගාවලියේ ජය ශ්‍රී ලංකා යොවුන් පිළට

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යොවුන් ක්‍රිකට් කණ්ඩායම් එකම කුසලානයක් වෙනුවෙන් සටන් වැදුනු තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) දකුණු අප්‍රිකාවේ බෝලන්ඩ් පාර්ක් හිදී ක්‍රියාත්මක විය.

කාසියේ වාසිය ලබා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු යවන්නන්ට උචිත තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ආරාධනා කරන ලදි. ආරම්භක පිතිකරණ යුගල ලෙස නිරෝෂන් දික්වැල්ල සමඟින් තම මංගල තරගයට ක්‍රීඩා කරන සඳුන් වීරක්කොඩි පිටියට පැමිණි අතර, ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 14ක් ලෙස දැක්වෙද්දී ඔවුන්ව ක්‍රීඩාගාරයට හරවා යවන්නට, වේන් පානෙල් සමත් වූයේ, ක්‍රීඩා පිටිය හරහා හමාගිය දැඩි සුළඟද සහයට ගනිමිනි.

අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 72ක සබඳතාවයක් ගොඩනගමින් බිඳ වැටුනු ශ්‍රී ලංකා ලකුණු පුවරුව යළිත් පණගන්වා ගත්තද, ඒ වන විට ලබාගෙන තිබූ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 4ට අඩු මට්ටමක පැවැතිණි.

කෙසේවෙතත් තම තාක්ෂණය හා පරිපූර්ණත්වය මනාව උපයෝගී කරගත් යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, තම දිවියේ 8වන අර්ධ ශතකය, ප්‍රභල දකුණු අප්‍රිකානුවන්ට එදිරිව සටහන් කරන්නේ, පිට පිටම ඔහු ලබා ගත් තෙවන අර්ධ ශතකයද මෙය බවට පත්කර ගනිමිනි.

මෙන්ඩිස් දැකුම්කළු 4 පහර 10ක් සමඟින් ලකුණු 62ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය. චන්දිමාල් පන්දු 55ක් තුල ලකුණු 22ක් ලබාගෙන සිටියදී ඉම්රාන් තාහීර්ගේ දඟ කැවුනු පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර, ලකුණු 99ක් වන විට මෙන්ඩිස් ද දවාලීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය.

අවසන් කඩුලු 6 ලකුණු 81ක් තුළ දවාලීමට තාහීර් ඇතුළු දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් වසර කිහිපයක්ම තිස්සේ සාර්ථක මැදපෙළ පිතිකරණයක් දියත් කරන්නට අපොහොසත්වී ඇති අතර, එය අදටත් එසේම පවතින බව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට මනාව වැටහුණි.

ධනංජය ද සිල්වා ලකුණු 28ක් ලබාගෙන මැදපෙළ සවිමත් කිරීමට උත්සහ කලද, එයට අනෙක් අන්තයෙන් ලැබුණු සහය ප්‍රමාණවත් නොවීම හමුවේ පීඩනයට හසුවූ ඔහු නිකරුණේ උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඉතිරිව තිබූ හිසරදයද අවසන් කරවමිනි. අවසානයේ දක්ෂ පන්දු යැවීම හමුවේ සාර්ථක ඵල නෙලාගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූයේ පන්දුවාර 50 අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 181කට සියල්ලන්ම දවාලමිනි.

අයි.සී.සී. පිතිකරණ නාමාවලියේ මුල් දස දෙනා අතර සිටින ක්‍රීඩකයින් තිදෙනෙකුගෙන් සවිබල ගැන්වෙන ජවසම්පන්න පිතිකරණ නාමාවලියක් දකුණු අප්‍රිකානුවන් සතුව ඇත. එය මනාව ඔප්පු කරමින් ආරම්භක පිතිකරණ සබඳතාවයට ලකුණු 71ක සාර්ථක අඩිතාලමක් සකස් කරන්නට ක්වින්ටන් ඩිකොක් හා හශීම් අම්ලා සමත් වූයේ ඔවුන් දෙදෙනා තුල ඇති පරිණත බවද විදහා දක්වමිනි.

ඩී කොක් 4 පහර 4ක් සමඟ ලකුණු 36කට දවාලීමට ලක්ෂාන් සඳකැන් සමත් විය.
එයින් නොනැවතුණ දකුණු අප්‍රිකානුවන් අනතුරුව වේගවත් පිතිකරණයක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එලව එලවා පහරදුන්නේ තම කඩුලු රැසක් ඉතිරිව තිබූ නිසාවෙනි. තම 31ක් වන අර්ධ ශතකය ලබාගත් අම්ලා 4 පහර 5ක් හා එක් 6 පහරක් හතරේ සීමාවෙන් ඔබ්බට යැවූ අතර, අසේල ගුණරත්නගේ පන්දුවකට ඔහු වෙතම ආ පන්දුව දක්ෂ ලෙස රැකගෙන එම ඉණිමට තිත තබන ලදි.

4 පහර 5ක් සමඟින් ලකුණු 55*ක් ලබාගත් ඩියු පෙලෙසිස් තම 24වන අර්ධ ශතකය ලකුණු පො‍තේ ලියවා ගත් මෙම ඉණිමට අනෙක් අන්තයෙන් නායකත්වයේ සහයක් ලබා දුන් ඒ.බී. ඩිවිලියස්  4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 30*ක් ලබාගත්තේ මැදපෙළ පිතිකරණය යනු කුමක්දැයි ශ්‍රී ලංකා කණ්ඩායමට මනාව පසක් කරදෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 181 (පන්දුවාර 48.3): කුසල් මෙන්ඩිස් 62, ධනංජය ද සිල්වා 28, දිනේෂ් චන්දිමාල් 22, නුවන් කුලසේකර 17, ඉම්රාන් තාහීර් 3/26, වේන් පානෙල් 3/48

දකුණු අප්‍රිකානු කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 185 (පන්දුවාර 34.2): හශීම් අම්ලා 57, ෆා‍ෆ් ඩියු ප්ලෙසිස් 55*, ක්වින්ටන් ඩී කොක් 34, ඒ.බී ඩිවිලියස් 30*, අසේල ගුණරත්න 1/19, ලක්ෂාන් සඳකැන් 1/35

තරගයේ වීරයා – ඉම්රාන් තාහීර් (දකුණු අප්‍රිකානු කණ්ඩායම)

දෙරට අතර දෙවන එක්දින තරඟය ලබන මස 01 (බදාදා) ඩර්බන් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.00ට දිවා රාත්‍රි තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට