නැවතත් ශූරතාවය මැලේසියාවට

787

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ මැලේසියා කණ්ඩායම අතර මැලේසියාවේ ඉපෝ නුවර දී පැවති අතර එහි දී දෙවන අර්ධයේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළ මැලේසියා කණ්ඩායම ලකුණු 22-09ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ධනුෂ්ක රන්ජන්ට මැලේසියාව සමඟ තරගය අහිමි වේ

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ පළමු කාණ්ඩයේ ප්‍රථම ස්ථානය තීරණය කෙරෙන ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය එළඹෙන සෙනසුරාදා (20) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ අපරාජිතව යි. එමෙන්ම මෙම තරගය ජයග්‍රහණය කර තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම 2018 වසරේ දී මීළඟ තරගාවලිය සඳහා උසස් කෙරෙන අතර එහි දී ආසියාවේ ප්‍රබලම කණ්ඩායම් සමඟ තරග වැදී 2019 වසරේ දී ජපානයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් උදා වන නිසා කණ්ඩායම් දෙකටම මෙම තරගය අතිශය වැදගත් විය. මැලේසියානු කණ්ඩායම දිරිමත් කිරීම සඳහා මැලේසියානු රග්බිලෝලීන් දහස් ගණනක් ක්‍රීඩාංගණය වෙත රැස්ව තිබුණි.

මැලේසියානු කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීමට වැඩි වාසියක් සහිත කණ්ඩායම වූ අතර ඔවුන් තරගය ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරන්නට සමත් විය. ඔවුන්ට තරගයේ පළමු මිනිත්තුවේ දී ම උත්සාහක දිනුම් අවස්ථාවක් හිමි වූ නමුත් එය සාර්ථක කර ගන්නට ඔවුන් අපොහොසත් විය. මිනිත්තු කිහිපයකට පසුව මැලේසියානු කණ්ඩායම තරගයේ පෙරමුණ ගන්නට සමත් වූයේ නොරුදින් ලබා දුන් පන්දුව මවරෝ නසලෝ විසින් සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමත් සමඟයි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. (මැලේසියාව 05 – 00 ශ්‍රී ලංකාව)

උත්සාහක දිනුම ලබා ගත් මවරෝ නසලෝව මිනිත්තු කිහිපයකින් අනතුරුව sinbin’ දඬුවමට ලක්කිරීම හේතුවෙන් මැලේසියානු කණ්ඩායමට ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කරන්නට සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් ලැබුණත් එය සාර්ථක කර ගන්නට විජේසිංහ අපොහොසත් වූ අතර ඉන් අනතුරුව මීටර 50 දුරක සිට ලැබුණු දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගන්නට ඔහු සමත් විය. (මැලේසියාව 05 – 03 ශ්‍රී ලංකාව)

මැලේසියානු කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් sinbin’ දඬුවමට යටත් කිරීම හේතුවෙන් මැලේසියානු කණ්ඩායමට ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් ක්‍රීඩා කරන්නට සිදු විය. ඉන් ප්‍රයෝජන ලබා ගත් ප්‍රසාද් මදුසංක උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තත් එහි දී නීතිරීති උල්ලංඝනය වූ බව විනිසුරුවරයා සංඥා කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එය අහිමි විය. කෙසේ වුවත් එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමුණු අතර එය විජේසිංහ විසින් සාර්ථක කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු තත්වයෙන් ඉදිරියට රැගෙන යමිනි. (මැලේසියාව 05 – 06 ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු තත්වයෙන් ඉදිරියෙන් සිටියත් මැලේසියානු ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය. ඔවුන් අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව නොමඟ යවමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට උත්සාහ දැරුවත් අවස්ථාවන් සියල්ල ඔවුන්ගේ දුර්වල පන්දු හුවමාරුව නිසා අසාර්ථක විය.

තරගයේ පළමු අර්ධය නිමාවට ආසන්නයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දඬුවම් පහර අවස්ථාවක් ලැබුණත් මෙවර එය සාර්ථක කර ගන්නට විජේසිංහ සමත් වූයේ නැත. අනුව තරගයේ පළමු අර්ධය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියානු කණ්ඩායමට වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටිමිනි.

පළමු අර්ධය: මැලේසියාව 05 06 ශ්‍රී ලංකාව

පළමු අර්ධය තුළ පසුපෙළ ශක්තිමත් කරමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන අර්ධයේ දී සිය ක්‍රීඩා ශෛලිය වෙනස් කරන ලදි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට රැගෙන යමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීමට උත්සාහ දැරීය. දෙවන අර්ධයේ පළමු මිනිත්තු 10 පමණ තුළ ප්‍රතිවාදී කණ්ඩායම තුළ පන්දුව හසුරුවමින් මැලේසියානු කණ්ඩායමට පීඩනයක් එල්ල කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය සාර්ථක කර ගන්නට විජේසිංහ සමත් වූයේ ලකුණු 04 වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දෙමිනි. (මැලේසියාව 05 – 09 ශ්‍රී ලංකාව)

දෙවන අර්ධයේ මැද භාගය පමණ වන විට කණ්ඩායම් දෙකම පන්දුව හොඳින් හසුරුවමින් ක්‍රීඩා කිරීමට උත්සාහ දැරීය. තරගයේ 63 වෙනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ බිඳ දැමූ මැලේසියානු කණ්ඩායමේ ටෙරන්ස් ගැවීඩි උත්සාහක දිනුමක් වාර්තා කර ගත්තේ නැවතත් මැලේසියානු කණ්ඩායම පෙරමුණට රැගෙන එමිනි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව නොරුදින් විසින් සාර්ථක කර ගැනීමට සමත් විය. (මැලේසියාව 12 – 09 ශ්‍රී ලංකාව)

ඉන් නොනැවතුණු මැලේසියානු ක්‍රීඩකයින් මිනිත්තු කිහිපයකින් අනතුරුව තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට සමත් විය. වොන්ග් වයි විසින් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ආකිල් කම්සෝල් විසින් සාර්ථක කර ගන්නා ලදි. (මැලේසියාව 19 – 09 ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නැවතත් තරගයේ පෙරමුණ ගැනීමට නම් ලකුණු තත්වය අනුව උත්සාහක දිනුම් දෙකක් රැස්කර ගැනීමට සිදු විය. නමුත් මැලේසියානු කණ්ඩායමේ පසුපෙළ පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූයේ නැත. තරගයේ 73 වෙනි මිනිත්තුවේ දී කම්සෝල් විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේ ලකුණු තත්වය තවත් ඉහළ නංවා ගනිමිනි. (මැලේසියාව 22 – 09 ශ්‍රී ලංකාව)

අනුව තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරදා මැලේසියානු කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කරමිනි. අනුව ඔවුන් ලබන වසරේ දී මීළඟ තරගාවලිය දක්වා උසස් කෙරෙනු ඇත.

දෙවන අර්ධය: මැලේසියාව 22 (3T 2C 1P) – 06 (3P) ශ්‍රී ලංකාව

ලකුණු ලබා ගැනීම 

මැලේසියාව

  • උත්සාහක දිනුම් – මවරෝ නසලෝ, ටෙරන්ස් ගැවීඩි, වොන්ග් වයි
  • ප්‍රවර්තන – අසිරෆ් නොරුදින් 1C, ආකිල් කම්සෝල් 1C
  • දඬුවම් පහර – ආකිල් කම්සෝල් 1P

ශ්‍රී ලංකාව

  • දඬුවම් පහර – තිලිණ විජේසිංහ 3P

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න රග්බි ක්‍රීඩා පිටුවට