ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ සිව්වැනි තරගයත් ඊයේ (31) ඉන්දියානු කණ්ඩායම ජය ගත්තේ කිසිදු තරගයකින් තොරවයි. ඒ අනුව ජයග්‍රහණයක හෝඩුවාවක් හෝ නොමැතිව ඉදිරියට යන එක්දින තරගාවලියේ මේ වන විට ඉන්දියානුවන් ඉදිරියෙන් සිටින්නේ තරග 4 – 0ක් ලෙසයි. ඊයේ තරගය ලකුණු 168කින් පරාජය වීම ශ්‍රී ලංකා පිළ මව්බිමේ දී ලැබූ දරුණුම එක්දින පරාජය ලෙස ද ඉතිහාසයට එක්විය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ විශේෂ ප්‍රකාශය

පසුගිය අගෝස්තු 27 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තෙවැනි එක්දින තරගය අතරතුර දී සිදු වූ ඉතාමත්…

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසා ඔහුට මුල් තරග දෙකෙන් අනතුරුව තරග තහනමක් හිමි වූ අතර තෙවැනි එක්දින තරගයේ දී නායකත්වය දැරුවේ මැදපෙළ පිතිකරු චාමර කපුගෙදරයි. නමුත් එහි දී ඔහු ද ආබාධයකට ලක්වීම නිසා ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා පිළේ නායකත්වය හිමිව තිබුණේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගටයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ කාසියේ වාසිය ජය ගැනීමට තරම් ඔහු වාසනාවන්ත නොවීය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ කෝලිගේ ඇරයුමින් ප්‍රථමයෙන්ම පන්දු යැවීමටයි. කෙසේ වෙතත් කාසියේ වාසිය ජය ගත්තා නම් ගන්නට සිටි තීරණය පිලිබඳව විමසූ මොහොතේ නායක මාලිංග පවසා සිටියේ තමන් ද පන්දු යැවීම තෝරා ගැනීමට කැමැත්තෙන් සිටි බවයි.

තරගාවලි ජය මේ වන විටත් ඉන්දියානුවන්ට හිමිවී තිබීම නිසා ඊයේ තරගයේ දී කණ්ඩායම් දෙකම නව අත්හදා බැලීම් සිදු කිරීමට පසුබට නොවුණු අතර ශ්‍රී ලංක එක්දින කණ්ඩායමට අද අලුත් මුහුණු ද්විත්වයක්ම එක්කොට තිබුණි. ඒ දකුණත් ආරම්භක පිතිකරු ඩිල්ශාන් මුණවීර සහ වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරයි. මීට අමතරව යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ද අද ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා එක්වී සිටියේය.

ඉන්දියානු කණ්ඩායම ද මනිෂ් පාණ්ඩේ, කුල්දීප් යාදෙව් සහ ශාදුල් තකූර් කණ්ඩායමට එක්කොට තිබුණේ තම යොවුන් ජවය විදෙස් රටක දී පරීක්ෂා කොට බැලීමට මෙය හොඳ අවස්ථාවක් වන බැවිනි. ඒ අනුව ‍තෙවැනි එක්දින තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් කපුගෙදර, චන්දිමාල් සහ චමීරටත්, ඉන්දීය ක්‍රීඩකයින් අතුරින් ජාදෙව්, බුවනේශ්වර් සහ චහාල් යන ක්‍රීඩකයින්ටත් කණ්ඩායමේ ස්ථාන අහිමි වී ගියේය.

ඒ අනුව ඉන්දීය ඉනිම අරඹමින් පිටියට පිවිසියේ රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් යන සුපුරුදු පිතිකරණ යුගලයයි. ඒ අතුරින් ශිකර් ධවාන්ව දෙවැනි පන්දුවාරයේ දීම දවා ගනිමින් ප්‍රේමදාස පිටියේ පපරේ නාදය තව තවත් තීවෘ කරන්නට වමත් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සමත් විය. ධවාන් විසින් වැඩි තැකීමකින් තොරව එල්ල කළ පහර හතරේ සීමාවේ පන්දු රැකි මාලින්ද පුෂ්පකුමාර උඩපන්දුවක් ලෙසින් රැකගන්නා විට ඔහු රැස් කරගෙන තිබුණේ ලකුණු 4ක් පමණි. කෙසේ වෙතත් වැඩි වේලාවක් මෙම කඩුල්ලේ සතුට සමරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉඩක් නොලැබුනේ අංක 3 පිතිකරු විරාත් කෝලි පිටියට පැමිණි වහාම තම රිද්මය හඳුනාගත් බැවිනි.

පිටිය සිසාරා හතරේ පහරවල් එල්ල කළ ඔහුගේ ඉනිම නිසා ප්‍රේමදාස පිටිය විස්සයි විස්ස තරගයක සිරි ගත්තේය. එබැවින් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස සිටි රෝහිත් ශර්මාටත් පෙර තම අර්ධ ශතකය මෙන්ම ශතකය ද සපුරා ගැනීමට ද ඊයේ ඔහුට අවකාශය උදාවිය. දර්ශනීය හතරේ පහර 17ක් සහ දැවැන්ත හයේ පහර ද්විත්වයක් සමඟින් වාර්තා වූ ඔහුගේ ලකුණු 131ට වැය වූයේ පන්දු 96ක් පමණි. එය කෝලිගේ එක්දින දිවියේ 29 වැනි ශතකය ලෙසින් වාර්තා අතරට එක්විය. තම නායකයාගේ අඩිපාරේ ගිය රෝහිත් ශර්මා ද ඊයේ ශතකයක් වාර්තා කරමින් දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 219ක් දක්වා ඉහළට ගෙන ආවේය.

කෝලිගේ ඉනිමට වඩා පරීක්ෂාකාරී වෙමින් ගොඩ නැගුණු රෝහිත් ශර්මාගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. ඒ අනුව පන්දු 88කට මුහුණ දුන් ඔහු තම ඉනිම අවසන් කළේ ලකුණු 104ක් ලබා ගනිමිනි. මෙය රෝහිත් ශර්මාගේ එක්දින දිවියේ 13 වැනි ශතකය බවට පත්විය. මොවුන් දෙදෙනාගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් පසුබෑමකට ලක්වූ අතර ඉන්දීය කණ්ඩායම ලකුණු 400කට වැඩි ප්‍රමාණයක් රැස් කර ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය.

කෙසේ වෙතත් ඉනිමේ අවසන් කොටසේ දී කෝලි සහ රෝහිත් පිටිය හැර යාමත් සමඟ ඉන්දියානුවන්ට ලකුණු 375කින් සෑහීමකට පත් වන්නට සිදු විය. පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලද හාර්දික් පාණ්ඩ්‍යා ද රැස්කර ගත්තේ ලකුණු 19ක් පමණි. ඊයේ අංක 5 පිතිකරු ලෙස කටයුතු කළ ලෝකේෂ් රාහුල්ව ඉක්මනින්ම දවා ගැනීමට අකිල ධනංජය සමත් වීමත් ඉන්දීය ප්‍රහාරය යම් පමණකින් අඩපණ කරන්නට උදව් විය. කෙසේ වෙතත් කවදත් ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත්වන එම්. එස්. දෝනි ඊයේ දිනයේදීත් තම පිතිකරණ රටාවේ වෙනසක් නොකරමින් මනිෂ් පාණ්ඩේ සමඟ එක්ව ශතක සබඳතාවයක් ගොඩ නැගීමට ද සමත් විය.

ඒ අනුව ඉනිම නිමාවෙද්දී පන්දු 42 බැගින් ක්‍රීඩා කර තිබූ පාණ්ඩේ සහ දෝනි පිළිවෙළින් ලකුණු 50 සහ 49 බැගින් රැස්කර ගත්හ. පන්දු යැවීමේ දී හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 24කට කඩුලු 2ක් දවාගත් අතර ලසිත් මාලිංග, අකිල ධනංජය සහ විශ්ව ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. මෙම තරගය අතරතුරේ දී ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින දිවියේ කඩුලු 300 සම්පූර්ණ කිරීමට ද සමත් විය. ඒ සුපිරි පිතිකරු විරාත් කෝලිව දවා ගනිමිනි.

ලකුණු 376ක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඊයේ දිනයේදීත් නිරූපණය වූයේ පසුගිය තරග කිහිපය පුරාවටම දකින්නට ලැබුණු දුර්වල පිතිකරණ විලාශයයි. එනම් මුල්පෙළ කඩුලු ඉක්මනින් දැවී යාම, මැදපෙළ මන්දගාමී ලෙස ලකුණු රැස් කිරීම සහ අවසානයේ ඉතාමත් අසීරුවෙන් ලකුණු 200 සීමාවට ලඟාවීම යන සාධක තුන ඊයේ දිනයේදීත් තරගය නැරඹූ ප්‍රේක්ෂකයින්ට දැක ගත හැකි විය. ප්‍රහාරක ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු ලෙසින් හැඳින්වෙන නිරෝෂන් දික්වැල්ල සහ ඩිල්ශාන් මුණවීර ඊයේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ද එහි කිසිදු වෙනසක් සිදු නොවීය.

තරමක අහඹු සිදුවීමක් සටහන් කරමින් දික්වැල්ල සහ මුණවීර යන දෙදෙනාම ඊයේ දිනයේ දැවී ගියේ පා ඉන්න දෙසින් ඉහළ එසවුණු පන්දු දෙකක් යන්තමින් පිත්තේ ස්පර්ශ වෙමින් කඩුලු රකින්නා අතට ඇදී යාම හේතුවෙනි. මෙම දැවී යාම් දෙකම පිටියේ විනිසුරු දැවී යාමක් ලෙස සටහන් නොකළ අතර කඩුලු රකින ක්‍රීඩක එම්. එස්. දෝනිගේ දැඩි විශ්වාසය නිසා DRS තාක්ෂණයේ පිහිටෙන් ඉන්දියානුවන්ට හිමිවූ කඩුලු 2ක් බවට පත්විය. පසුගිය තරග කිහිපයම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේ දී එක් ලකුණකට දැවී ගියේ අනවශ්‍ය ලකුණක් කරා දිව යාමට දැරූ උත්සාහයකදීයි.

ඉන් අනතුරුව ලහිරු තිරිමාන්න සහ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් අතරේ මන්දගාමී ලකුණු සබඳතාවයක් ගොඩ නැගුණද එය ලකුණු 376ක ඉලක්කයක් හඹා යාමට කිසිසේත්ම අනුකූල වන ආකාරයේ සබඳතාවයක් නොවීය. එම සබඳතාවය නිමා කරමින් ලකුණු 18ක් ලබා සිටි ලහිරු තිරිමාන්න දැවී ගියේ හාර්දික් පාණ්ඩ්‍යාට දිනයේ පළමු කඩුල්ල හිමිකර දෙමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධන ද පන්දු 43ක් තුල දී ලකුණු 39ක් රැස් කරගත් නමුත් ඔහු ද අවසානයේ හාර්දික් පාණ්ඩ්‍යාගේ වේග පන්දුවකට ගොදුරු විය.

නිරන්තරයෙන්ම එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා පිළේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඇන්ජෙලෝ මැතිව්ස් ඊයේ ලකුණු 70ක් රැස් කිරීමට සමත් විය. ඒ පන්දු 80කට මුහුණ දෙමිනි. කෙසේ වෙතත් වර්තමාන එක්දින තරග රටාවට ගැළපෙන විශ්වාසවන්ත දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට නම් ඊයේ දිනයේ දී කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට අවකාශය උදා නොවීය. කණ්ඩායම දිගින් දිගටම ලබන මෙම පරාජයන්ට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ද කිසිදු පිතිකරුවෙකු පිලිබඳව වැඩි විශ්වාසයක් තැබීමට නොහැකි වීමයි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රාහ්, හාර්දික් පාණ්ඩ්‍යා සහ නවක චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. තමන්ට එතරම් හුරුපුරුදු නොවූ තණතිලි මත දී වුවද මෙම පන්දු යවන්නන් තම වගකීම අකුරටම ඉටු කළ අයුරු තරග සංචාරය පුරාවටම කැපී පෙනුණි. ඊයේ දිනයේ තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ශ්‍රී ලංකාවට පළමු ප්‍රහාරය එල්ල කළ ඉන්දීය නායක විරාත් කෝලිටයි. මෙය ශ්‍රී ලංකාව තම මව්බිමේ දී වැඩිම ලකුණු පරතරයකින් පරාජය වූ තරගය ලෙසද ඉතිහාසයට එක්විය. එක්දින තරගාවලියේ අවසන් තරගය ලබන 3 වැනිදා ආර්. ප්‍රේමදාස පිටියේ දී ම පැවැත්වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

SCORECARD