අසලංක – සම්මු එළි කළ ජයමග

546
Charith, Sammu

නායක චරිත් අසලංක සහ සම්මු අශාන් පිත්තෙන් දැක්වූ දස්කම් වලට පන්දු යවන්නන් වටිනාකමක් එක් කිරීම හේතුවෙන් එංගලන්ත යෞවනයන් සමග පැවති පළමු යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 108ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය. තරගය එංගලන්තයේ වෝම්ස්ලි හී ශ්‍රීමත් පෝල් ගැටී ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

පසුගිය ලිපි: පැහැබර ක්‍රිකට් අනාගතයක සුබ පෙර නිමිති

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා තෝරා ගත්තේ පන්දුවට පහර දීමයි. ඩිලාන් ජයලත් පළමු පන්දු වාරයේදීම දැවී යන ලදී. අවිශ්ක ප්‍රනාන්දු සමගින් එක්වූ අසලංක දෙවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 63ක්. අවිශ්ක ලකුණු 30යි.

අනතුරුව නායක අසලංක තවත් ලකුණු 77ක අගනා සබඳතාවකට දායක වූයේ වනිඳු හසරංග සමගිනුයි. චරිත් අසලංක හතරේ පහර 8ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 70ක්. වනිඳු ලකුණු 37ක් ලබා ගැනීමට සමත් විය.

ඔවුන් දෙදෙනා ලකුණු 6ක පරාසයක් තුල දැවී ගියත් සම්මු අශාන් පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගකාරී ලකුණු සංඛ්‍යාවක් වෙත ගෙන යන්නට සමත් විය. සම්මු හතරේ පහර 6ක් සමග නොදැවී ලකුණු 60ක් රැස් කලේ පන්දු 62ක් පමණක් වැයකරමින්.

ශ්‍රී ලංකා යෞවනයන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලකුණු 257ක් ලබා ගනිද්දී, බර්නාඩ් සහ ග්‍රීන් අතරේ කඩුලු 2බැගින් බෙදී යන ලදී.

පිළිතුරු ඉනිම ආරම්භ කළ එංගලන්ත යොවුන් පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් කිසිදු අවස්තාවක් හිමිවූයේ නැත. ලහිරු කුමාර එක් අන්තයකින් ලකුණු සීමා කරද්දී, අනෙක් අන්තයෙන් කඩුලු දවා ගැනීමේ වගකීම මැනවින් ඉටු කරන්නට සියලුම පන්දු යවන්නන්ගේම පාහේ දායකත්වය ලැබුණි.

දමිත සිල්වා කඩුලු 3ක් බිඳ හෙලූ අතර පන්දු යවන්නන් තිදෙනෙක් අතරේ කඩුලු 2බැගින් බෙදී යන ලදී. මේ පන්දු යවන්නන් හමුවේ අසරණ වූ එංගලන්ත යොවුන් කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 149ක් පමණි.

මේ අනුව තරග 3කින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා යෞවනයන් සමත් විය. දෙරට අතර දෙවන යොවුන් එක්දින තරගය ලබන සෙනසුරාදා (13) චෙම්ස්ෆීල්ඩ් හීදී පැවැත්වීමට නියමිතයි..

ලකුණු පුවරුව.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම – 257/7 (50):  චරිත් අසලංක – 70, සම්මු අශාන් – 60*, වනිඳු හසරංග -37, අවිශ්ක ප්‍රනාන්දු -30, හියු බර්නාඩ් – 2/43, බෙන් ග්‍රීන් – 2/46

එංගලන්ත යොවුන් කණ්ඩායම – සියල්ලන් දැවී – 149 (40.3): මැක්ස් හෝල්ඩන් – 40, සෙන් මලික් – 32, දමිත සිල්වා – 3/28, චරිත් අසලංක – 2/27, වනිඳු හසරංග – 2/28, තිලාන් ප්‍රසාන් – 2/32.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 108ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට