අවසන් මොහොතේදී චීන තායිපේ ජය ලබයි

215
Sri Lanka v Chinese Taipei

මැලේසියාවේදී පැවැත්වෙන 19න් පහල රග්බි ඒශියාඩ් (ASIAD) තරඟාවලියේ පළමු කාණ්ඩයේ රැඳී සිටීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව සුණු විසුනු කර දමන්නට චීන තායිපේ කණ්ඩායමේ ශැන්ග් ටෙන්ග් සමත්වීමත් සමඟ චීන තායිපේ හා පැවති තරඟය 31-25ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකාවට හොංකොං හමුවේ දැවැන්ත පරාජයක්!

තරඟාවලියේ පළමු කාණ්ඩය තුළ තම ස්ථානය මීළඟ වසරේදීත් ආරක්ෂා කරගැනීමට නම් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු තරඟයක්ව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමට නවීන් හේනකන්කානම්ගේ 68 වන මිනිත්තුවේදී බලාපොරොත්තුවක් ලබාදුන් නමුත් අවසන් මිනිත්තු දෙක තුළදී පරතරය ආරක්ෂා කරගැනීමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකාව දෙවන කාණ්ඩය තෙක් පහල බැසීමේ අවදානමට ලක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟයට එළඹෙන්නට සිදුවූයේ උණ රෝගය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම රෝහල්ගත කර තිබූ පසුබිමක, ශ්‍රී ලංකා අතිරේක ක්‍රීඩක බංකුවේ ද හිස්තැනක් සහිතවය. තද රස්නය සහිත කාලගුණ තත්වය හේතුවෙන් තරඟය මිනිත්තු 35 බැගින් වූ අර්ධයන් දෙකක් වශයෙන් ක්‍රියාත්මක විය.

තද රස්නය තුළදී පවා තරඟයේ මුල් මිනිත්තු කිහිපයේදීම ජවසම්පන්න ආරම්භයකට එළඹීමට ශ්‍රී ලංකා පෙරපෙල ක්‍රීඩකයන් සමත් විය. අංක 8, නිරෝෂ් උදයංග ලබාගත් උත්සාහක දිනුමක ප්‍රවර්තනය, සංදේශ් ජයවික්‍රම සාර්ථක කරගත්තේය. (තායිපේ 00-07 ශ්‍රී ලංකාව)

වැඩිකල් යන්නට පෙර පරතරය සම කරගන්නට තායිපේ ක්‍රීඩකයන් සමත් වූයේ සුයි ෂෙන්ගේ උත්සාහක දිනුමක් සමඟිනි. චී ෂෙන්ග් වූ එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (තායිපේ 07-07 ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ උපක්‍රම දිගින් දිගටම ශ්‍රී ලංකාවටම අවාසි ගෙන දෙන්නට විය. චුන් යෙන් ලෑන් විසින් ශ්‍රී ලංකා පෙරපෙල හිඩැසක් අතරින් රිංගා ගොස් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වූයේ ඉන් පසුවය. (තායිපේ 12-07 ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟ ස්වභවය හඳුනාගන්නට පටන්ගන්නවාත් සමඟම කුෂාන් ඉඳුනිල්ගේ පන්දු යොමුවක් සොරාගත් ෂෙන්ග් ටෙන්ග් මීටර 70ක පමණ දුරක් ගෙවමින් යළිත් උත්සාහක දිනුම් රේඛාව පසුකළේය. ප්‍රවර්තනයේදී සුයි ෂෙන් සාර්ථක විය. (තායිපේ 19-07)

පසුව මීටර 45ක පමණ දුරදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් සන්දේශ්, පරතරය ලකුණු 9ක් දක්වා අඩුකළේය. (තායිපේ 19-10 ශ්‍රී ලංකාව)

ප්‍රථම අර්ධය – චීන තායිපේ 19 – 10 ශ්‍රී ලංකාව

චෙන්ග් යූ සංග් වාර්තා කළ උත්සාහක දිනුමක් සමඟින් දෙවන අර්ධය ආරම්භයේදීම නැවතත් පරතරය වර්ධනය කරගන්නට තායිපේ කණ්ඩායම සමත්විය. (තායිපේ 24-10 ශ්‍රී ලංකාව)

පසුව ක්‍රියාත්මක වූ රොමේෂ් ප්‍රියංකර එක් කොනකිනුත්, වජිඩ් ෆවුමි තවත් කොනකිනුත් වාර්තා කළ උත්සාහක දිනුම් දෙකක් සමඟින් ශ්‍රී ලංකාව ලකුණු 20ක් දක්වා පෙරට ඇදිණි. (තායිපේ 24-20 ශ්‍රී ලංකාව)

පසුව ශ්‍රී ලංකාවට ජවය ගෙන ආ නවීන් හේනකන්කානම්ගේ, මීටර 70ක් පමණ තනිවම දිවගොස් අගනා උත්සාහක දිනුමක් වාර්තා කළ නමුත් ගෝල කණු ඉදිරියේදීම ලද පහසු ප්‍රවර්තනය අශ්වන්ත හේරත්ගේ පාදයෙන් ගිලිහුණි. (තායිපේ 24-25 ශ්‍රී ලංකාව)

තරඟයේ පෙරමුණ ලැබුවත් අසාර්ථක ආරක්ෂණ පද්ධතිය හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අවසන් මිනිත්තු දෙකේදී මිලින වූයේ ෂෙන්ග් ටෙන්ග් ලබාගත් උත්සාහක දිනුමින් තායිපේ කණ්ඩායමට ජය හිමිවීමත් සමඟය. (තායිපේ 31-25 ශ්‍රී ලංකාව)

සම්පූර්ණ කාලය – චීන තායිපේ 31 (5T 3C) – 25 (4T 1C 1P) ශ්‍රී ලංකාව

කෙසේවෙතත් ජය ආසන්නයටම පැමිණ අවසන් මිනිත්තු දෙකේ දැක්වූ දුර්වලතා හේතුවෙන් පරාජය වීම කණගාටුදායක විය.

ශ්‍රී ලංකාව මීළඟ තරඟාවලියේදී ක්‍රීඩා කරන කාණ්ඩය තීරණය වීමෙහි ලා මැලේසියාවත්, හොංකොං කණ්ඩායමත් අතර තරඟයේ තීරණය වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකාවත්, චීන තායිපේත්, මැලේසියාවත් එක් දිනුම බැගින් ලබා සිටියි.

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

චීන තායිපේ ෂෙන්ග් ටෙන්ග් 2T, සූ ෂෙන් 1T 1C, චෙන් යෙන් ලෑන් 1T, චෙන් යූ සංග් 1T, චී සෙන් වූ 2C.

ශ්‍රී ලංකාව වජීඩ් ෆවුමි 1T, නවීන් හේනකන්කානම්ගේ 1T, රොමේෂ් ප්‍රියංකර 1T, නිරෝෂ් උදයංග 1T, සන්දේශ් ජයවික්‍රම 1C 1P

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට