ඉන්දීය A ක්‍රිකට් ක්‍රීඩකයෝ පළමු තරගය ජය ගනී

Sri Lanka A, India A & Afghanistan A Tri Nation Tournament 2026

27
Cricket

ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 8ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම සමත් වෙනවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (10) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. මෙම තරගයේ දී 15 වැනි වියේ පසුවෙන ඉන්දීය යොවුන් ක්‍රීඩක Vaibhav Sooryavanshi ද සහභාගී වූ අතර එය ඔහුගේ පළමු ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම් තරගය ද වූවා.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම

 

සහන් ආරච්චිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, නුවන්ඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, රවිඳු ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, විජයකාන්ත් වියස්කාන්ත්, මොහොමඩ් ශිරාස් සහ ගරුක සංකේත්.

 

ඉන්දියන් A ක්‍රිකට් කණ්ඩායම

 

Tilak Varma (නායක), Prabhsimran Singh (කඩුලු රකින්නිය), Vaibhav Sooryavanshi, Priyansh Arya, Ruturaj Gaikwad, Ayush Badoni, Suryansh Shedge, Anukul Roy, Vipraj Nigam, Arshad Khan, Anshul Kamboj.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 277ක් ලබා ගත්තා. එතරම් ලකුණු ප්‍රමාණයක් කරා ගිය ද එම ඉනිමේ ආරම්භක පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ලකුණු 16ක් වෙද්දී ආරම්භකයන් දෙදෙනා ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවෙන අතර ඒ වෙද්දී සුවිශේෂී අවධානයකට ලක් ව සිටි Vaibhav Sooryavanshi ද වූවා. ඔහුට මෙම තරගයේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 14ක් පමණයි.

එය පමණක් ඉන්දීය ඉනිමේ දුර්වලතාව වූ අතර එතැන් සිට ඉන්දීය ඉනිම ගොඩ නැගීමට අනෙක් පිතිකරුවෝ සමත් වෙනවා. ඒ අතර පළමු පියවර තබන්නේ Priyansh Arya සහ Ruturaj Gaikwad. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 53ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Priyansh Arya පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32කට දැවී යෑමත් සමඟිනුයි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Ruturaj Gaikwad. ඔහු පන්දු 114ක දී ලකුණු 101ක් රැස් කරනවා. එම ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එක් කිරිමට ද ඔහු සමත් වෙනවා.

ඔහුට අමතර ව නායක Tilak Varma පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් එක් කරනවා. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 185ක දී ලකුණු 150ක සබඳතාවක් ද ගොඩ නගනවා.

ඔවුන්ට අමතර ව Suryansh Shedge පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද සහ Ayush Badoni පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 67කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූ අතර ඊට අමතර ව වනුජ සහන්, ගරුක සංකේත් සහ චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු එක් ව පළමු කඩුල්ලට පන්දු 99ක දී ලකුණු 93ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අවිශ්ක ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඔහු දැවී යන විට පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් පන්දු 11කට පසුව නිරෝෂන් දික්වැල්ල ද ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.

ඉනිමේ 3 වැනි කඩුල්ලට නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 8කට දැවී යන අතර ඉන් අනතුරු ව සදීර සමරවික්‍රම සහ නායක සහන් ආරච්චිගේ එක් ව ශ්‍රී ලංකා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩ නගනවා. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 78ක සබඳතාවක් ගොඩ නගනවා.

සදීර සමරවික්‍රම පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. සහන් ආරච්චිගේ ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව යටි පෙළින් පිටියට පිවිසි වනුජ සහන් පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 3 එක් පන්දුවාරයක් තුළ දැවී යන අතර පන්දු යැවීමේ දී Arshad Khan, Anukul Roy, Ayush Badoni සහ Vipraj Nigam කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Anshul Kamboj ද එක් කඩුල්ලක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දියන් A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 277 (50.0) Priyansh Arya 32, Ruturaj Gaikwad 101, Tilak Varma 60, Ayush Badoni 24, Suryansh Shedge 26, මොහොමඩ් ශිරාස් 2/67
  • ශ්‍රී ලංකා ඉන්දියන් A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 269 (48.1) නිරෝෂන් දික්වැල්ල 47, අවිශ්ක ප්‍රනාන්දු 45, සදීර සමරවික්‍රම 46, සහන් ආරච්චිගේ 74, වනුජ සහන් 23, Arshad Khan 2/24, Anukul Roy 2/49, Ayush Badoni 2/46, Vipraj Nigam 2/46

තරගයේ වීරයා – Ruturaj Gaikwad (ඉන්දියන් A ක්‍රිකට් කණ්ඩායම)

ඉන්දියන් A ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 8ක ජයක්.

තරගාවලියේ 2 වැනි තරගය ඉන්දියාව සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර එම තරගය මේ මස 11 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තුන්කොන් A ක්‍රිකට් කණ්ඩායම් තරගාවලියේ සියළු තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<