පිතිකරණය නාය යද්දී චන්දිමාල් තනිවම සටනක

186

වසර 16ක් ඈත අතීතයට ඇදී යන බංගලාදේශ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ සියවැනි පරිච්ඡේදයට අද (15) බංගලාදේශ කණ්ඩායම මුහුණ දුන්නේ කොළඹ පී. සරා ඕවල් පිටියේදීයි. ඒ ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ඇරඹුමක් එක් කරමිනි. නිමා වූ ප්‍රථම ටෙස්ට් තරගයේ දී උරුම වුනු පරාජයෙන් පාඩම් ඉගෙන තිබූ බංගලාදේශය අද තරගයට එක්වී සිටියේ තම සියවැනි ටෙස්ට් තරගයේ දී විප්ලවයක් කිරීමේ පරම අධිෂ්ඨානය සිත්හි දරාගෙනයි.

දිස්ත්‍රික් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

කොළඹ දිස්ත්‍රික් අධිකරණ නියෝගයක් මඟින් අත්හිටුවා තිබෙන ප්‍රමුඛ පෙළ සීමිත පන්දුවාර තරගාවලිය වෙනුවට දිස්ත්‍රික් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක්…

කලින් තරගය ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමේ අද එක් වෙනස්කමක් සිදුව තිබූ අතර වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට දකුණත් පිතිකරු ධනංජය සිල්වා කණ්ඩායමට කැඳවා තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාව බොහෝ තරග වලට සහභාගි වන ක්‍රීඩක සැලසුම වන පිතිකරුවන් 7ක් සහ පන්දු යවන්නන් 4ක් යන සැලසුමට ශ්‍රී ලංකාව නැවතත් අනුගත වී තිබුණි. කෙසේ වෙතත් ලහිරු කුමාරගේ ඉවත් වීමත් සමග මෙම තරගයේ දී වේග පන්දුවේ සම්පූර්ණ වගකීම සුරංග ලක්මාල් පිට පැටවී තිබීම ද විශේෂත්වයකි.

පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යා හැකි බව පෙනෙන්නට තිබූ සරා තණතීරුවේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක රංගන හේරත් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තම පිතිකරණ බල ඇණියට අවස්ථාව ලබා දුන්නේ කලින් තරගයේ දී ඔවුන් සිය වගකීම අකුරටම ඉටුකර තිබූ නිසාවෙනි. නමුත් ඔහුගේ සියලු අපේක්ෂාවන්ට කණකොකා හඬන්නේ අඩු ලකුණු සංඛ්‍යාවක් තුල දී ශ්‍රී ලංකා මුල්පෙළ බිඳ වැටුනු නිසාවෙනි.

පසුගිය ජාත්‍යන්තර තරග වල දී දැඩි ලෙස අසාර්ථක වුවත් මීට දෙසතියකට පමණ පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවති සිව්දින තරගයේ දී වාර්තා කළ ද්විත්ව ශතකයේ මහිමයෙන් කණ්ඩායමේ ස්ථානය රැක ගත් දිමුත් කරුණාරත්න අද බංගලාදේශ කණ්ඩායමේ පළමු දඩයම බවට පත්විය. මුස්ටාෆිසූර් රහුමාන් යැවූ පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට යාමේ දී පිත්තේ පිටත අග්‍රයේ වැදුණු පන්දුව ගලි කලාපයේ සිට මෙහෙදි හසන් දක්ෂ අන්දමින් රැක ගන්නා විට දිමුත් ලබා සිටියේ ලකුණු 7ක් පමණි. ඊට සුළු මොහොතකට පසු පන්දුව අතට ගත් මෙහෙදි හසන් අනවශ්‍ය කලබලයක් පෙන්නුම් කල කුසල් මෙන්ඩිස්ව ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට සමත් විය.

ඉන් නොනැවතුනු මෙහෙදි හසන් කලින් තරගයේ දී ශතකලාභී උපුල් තරංගවත් පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 35ට කඩුලු 3ක් බවට පරිවර්තනය කරමිනි. තණතිල්ලේ ගැටී පිටතට දඟ කැවුණු පන්දුව තරංගගේ පිත්ත ස්පර්ශ කරමින් ස්ලිප් හි පන්දු රැකි සෞම්‍ය සර්කාර්ගේ දෑතේ රැඳුනේ ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරමිනි. ඒ වන විට බංගලාදේශය දෙසට හැරී තිබූ තරගය යම් තරමකින් පාලනය කිරීමට දිනේෂ් චන්දිමාල් සහ අසේල ගුණරත්න උත්සාහ දැරූවත් දිවා විවේකයට මද වේලාවකට පෙර අසේල කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ පළමු සැසියේ සම්පූර්ණ වාසිය බංගලාදේශයට නතු කරමිනි. පැයට කිලෝමීටර් 136ක වේගයෙන් පැමිණි පන්දුව නිසැක දැවී යාමක සලකුණු පෙන්නුම් කරමින් අසේලගේ පා ආවරණයේ දැවටෙන විට කඩුල්ල දවා ගැනීමේ ප්‍රීතිය සුභාශිස් රෝයි සතුවිය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 70ට කඩුලු 4ක් ලෙස සටහන් වුනු මොහොතේ පටන් තම කණ්ඩායම ඉන් ගොඩ ගන්නට අපමණ වෙහෙසක් දැරූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක අතිශය වටිනා සබඳතාවයක් පැවැත්වීමට සමත් වූහ. අඩු ලකුණු සංඛ්‍යාවක් තුල දී නාය යාමට ලක්වීමට ඉඩ තිබූ ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට යම් සහනයක් එක් කිරීමට මෙම සබඳතාවය අතිශයින්ම ආධාර විය. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ දැරූ ධනංජය සිල්වා පන්දුව කඩුල්ලේ වැදී දැවී යනවිට ලකුණු 34ක් රැස්කර තිබුණි.

ඕනෑම තරග රටාවක දී තමාට හුරුපුරුදු ප්‍රවේගකාරී පිතිහරඹය දියත් කරන නිරෝෂන් දික්වැල්ල අද හතරේ පහර 4ක් සමඟින් ඉක්මන් ලකුණු 34ක් රැස් කලත් ශකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය ආකාරය නම් ඉතාමත් දුර්වල විය. ශ්‍රී ලංකාව පීඩනයකට හසුව තිබූ මොහොතේ ඔහු එල්ල කල අනවශ්‍ය රිවර්ස් ස්වීප් පහර නිසා ඔහු තම කඩුල්ලෙන් වන්දි ගෙවන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 180ට කඩුලු 6ක් ලෙස සටහන් විය. දිනයේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 9ක් ලබා සිටි දිල්රුවන් පෙරේරා දැවී යාම ද ශ්‍රී ලංකාවට බලවත් අවාසියක් විය.

කෙසේ වෙතත් කණ්ඩායම බලවත් අසීරුතාවයකට ලක්ව සිටි මොහොතේ පිත්තෙන් ද තම උපරිම දායකත්වය දැක්වූ රංගන හේරත් අද දිනය නිමා වන විට දිනේෂ් චන්දිමාල් සමඟ එක්වී 8වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක නොබිඳුණු සබඳතාවයක් පැවැත්වීය. අද උදෑසනින්ම පිතිකරණ‍යේ වගකීම හිස දරන්නට සිදුවූ දිනේෂ් චන්දිමාල් අද දිනය නිමා වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 86ක් රැස්කර ගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා බවට පත්වෙමිනි. රංගන හේරත් නොදැවී ලකුණු 18යි. පන්දු යැවීමේ දී මුස්ටාෆිසූර් රහුමාන් සහ මෙහෙදි හසන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

කෙසේ වෙතත් හෙට දිනයේ දී චන්දිමාල් සහ හේරත් හැකි තරම් වේලාවක් පිතිකරණයේ යෙදීම වැදගත් වන්නේ ශ්‍රී ලංකාව සතු විශ්වාසයක් තැබිය හැකි අවසන් පිතිකරණ යුගලය ඔවුන් දෙදෙනා වන බැවිනි. මේ වන විට කඩුලු 7කට ලකුණු 238ක් ලෙස සටහන් වන ශ්‍රී ලංකා ලකුණු පුවරුව කෙසේ හෝ ලකුණු 300 සීමාව ආසන්නයට ගෙන ඒමට හැකි වුවහොත් විශේෂඥ දඟ පන්දු යවන්නන් තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට බංගලාදේශ පිතිකරුවන්ට සැලකිය යුතු තර්ජනයක් ඇති කිරීමට නොහැකි වන්නේ නැත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 238 (පන්දුවාර 83.1) දිනේෂ් චන්දිමාල් 86*, නිරෝෂන් දික්වැල්ල 34, ධනංජය ද සිල්වා 34, රංගන හේරත් 18*, මුස්ටාෆිසූර් රහුමාන් 2/32, මෙහෙදි හසන් 2/58, තයිජුල් ඉස්ලාම් 1/34.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට