නොතිබූ ජයක් ගෙනෙන්නට උත්සාහ දැරූ පන්දු යවන්නන්ගේ වෑයම වරදී

3886
Sri Lanka v Australia U19 cricket 4th ODI

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 5කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම අද (21) සමත් විය. ඒ අද පැවති සිව්වැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමෙන් අනතුරුවයි.

දඹුල්ලට නොසිතූ ජයක්; චන්දිමාල් හා හර්ෂ ලකුණු අතරට

දින 9ක පමණ අලුත් අවුරුදු විවේකයෙන් අනතුරුව යළිත් දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම්කාරීත්වය ආරම්භ කරවමින්..

ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මක වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගැනීමට නායක කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අනුව දෙවැනි එක්දින තරගයේ දී ජයග්‍රහණය ලබන්නට හේතු වූ අයුරින්ම මෙම තරගයේදීත් මුලින් පන්දුවට පහර දීමට ඔහු පියවර ගත්තේය. නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් අද තරගයක් දිය හැකි තරමේ ලකුණු ප්‍රමාණයක් හෝ රැස්කර ගැනීමට අපොහොසත් වීම පරාජයකට අත වැනීය.

ආරම්භක පිතිකරු විශ්ව චතුරංග ලකුණු 15ක් රැස් කළත් ලසිත් කෲස්පුල්ලේ, හසිත බෝයගොඩ සහ කමිඳු මෙන්ඩිස් යන මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම තනි ඉලක්කමේ ලකුණු වලට දැවී යාම ශ්‍රී ලංකාවට තරගයේ පාලනය ගිලිහී ගිය මුල්ම අවස්ථාව බවට පත්විය. විශේෂයෙන්ම ඉයන් කාලිසල් යොමු කළ වේග පන්දුවකට මිඩ්-විකට් කලාපයේ සිටි ජේසන් සංගා වෙතට උඩ පන්දුවක් ලබා දී ලකුණු 7ක් ලබා සිටි නායක කමිඳු මෙන්ඩිස් දැවී යාම ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු බොඳකර දැමීය.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් ලකුණු 39ක් තුල බිඳ වැටී අසරණ වුනු මොහොතේ ලකුණු 62ක සබඳතාවයක් පිහිටුවමින් කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ගෙන එන්නට මැදපෙළ පිතිකරු ජෙහාන් ඩැනියෙල් සහ ක්‍රිෂාන් ආරච්චිගේ සමත් විය. නමුත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ දී ක්‍රියාත්මක වුනු දකුණත් වේග පන්දු යවන සැක් එවන්ස් නිරන්තරයෙන් කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල කළ දැවැන්ත අභියෝගය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 163ක් පමණි.

මෙවන් ලකුණු සංඛ්‍යාවක් තරගයක් ජය ගැනීමට තරම් ප්‍රමාණවත් නොවූ අතර අසීරුවෙන් හෝ ලකුණු 220ක් පමණ රැස්කර ගත්තා නම් ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ජය ගැනීමට ඉහළ අවස්ථාවක් තිබුණි. කෙසේ වෙතත් පන්දු යවන්නන් ලෙස ප්‍රසිද්ධියක් උසුලන නිපුන් රංසික (28) සහ තිසරු ඩිල්ශාන් (25*) අද පිත්තෙන් දැක්වූ දක්ෂතා කැපී පෙනෙන මට්ටමක විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් පවා අද රැස් කළේ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් පමණි.

කලින් තරග වල දී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ නිපුන් සුමනසිංහ වෙනුවට මෙම තරගයට කැඳවූ අයන සිරිවර්ධන අද ලකුණු නොලබාම දැවී යාම ද ශ්‍රී ලංකාවට බලවත් අවාසියක් බවට පත්විය. පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් සැක් එවන්ස් ලකුණු 30ට කඩුලු 4ක් බිඳ හෙලීය. මෙම සංචාරය පුරාවට මොහු සහභාගි නොවූ එකම තරගය ශ්‍රී ලංකාව ජය ගත් අතර අනෙක් තරග කිසිවක් ජය ගැනීමට ඔහුගෙන් ඉඩක් හිමිවූයේ නැත. මීට අමතරව ඉයන් කාලිසල්ට කඩුලු 2ක් හිමිවිය.

ලකුණු 164ක පහසු ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන්ගේ මුල්පෙළ කඩුලු තුනක් ලකුණු 2ක් තුල දී දවා ගනිමින් උපන් බිමේ දී ම ඔවුන්ව මොහොතකට දමනය කරන්නට ශ්‍රී ලංකා ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා සමත් විය. එහි දී ආරම්භක පිතිකරු මැක්ස් බ්‍රයන්ට්ගේ කඩුල්ල තිසරු ඩිල්ශාන් බිඳ හෙලූ අතර තරගාවලිය පුරාවට ලකුණු අතර සිටි පාරම් උප්පල් සහ ජේසන් සංගා පිටියෙන් ඉවත් කරන්නට නිපුන් රංසික සමත් විය.

නමුත් ඉන් අනතුරුව තමන් පත්ව සිටින අනතුරුදායක තත්වය තේරුම් ගත් ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන් ඉතාමත් වගකීමෙන් පන්දුවට පහර දෙමින් ලකුණු සබඳතා ගොඩ නැගූහ. අංක 5 පිතිකරු ඕස්ටින් වෝ පන්දු 125කට මුහුණ දෙමින් ලකුණු 60ක් ලබාගෙන ඒ සඳහා පදනම දැමීය. මීට අමතරව මැතිව් ස්පෝස් රැස්කල ලකුණු 32ත්, ජොනතන් මර්ලෝ නොදැවී එක්කළ ලකුණු 43ත් හේතුවෙන් පන්දු වාර 46ක් ගතවන්නට පෙර ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය. පන්දු යැවීමේ දී නිපුන් රංසික සහ හරීන් බුද්ධිල කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

තරගාවලි ජයග්‍රහණයක් පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු මේ වන විටත් බොඳව ගොස් ඇති නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලබන 23 වැනිදා හෝබාර්ට් හිදීම පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය ගෞරවය වෙනුවෙන් කෙරෙන සටනක් ලෙස සැලකීමට සිදුව ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා යොවුන් පිළ ඕස්ට්‍රේලියාවේ දී මුහුණ දෙන අවසන් තරගය මෙය වන නිසා කෙසේ හෝ එය ජයගෙන තරගාවලිය 3-2ක් ලෙස නිමා කර ගැනීමට හැකි වුවහොත් ඕස්ට්‍රේලියානු සංචාරය යමක් උපයා ගත් සංචාරයක් ලෙසින් නම් කිරීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 8ක් දැවී ලකුණු 163 (පන්දු වාර 50): ජෙහාන් ඩැනියෙල් 36, ක්‍රිෂාන් ආරච්චිගේ 29, නිපුන් රංසික 28, තිසරු ඩිල්ශාන් 25*, විශ්ව චතුරංග 15, හරීන් බුද්ධිල 7*, සැක් එවන්ස් 4/30, ඉයන් කාර්ලයිල් 2/18, මැතිව් ස්පෝස් 1/16.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 164 (පන්දු වාර 45.4): ඕස්ටින් වෝ 60, ජොනතන් මර්ලෝ 43*, මැතිව් ස්පෝස් 32, ජැක් එඩ්වඩ්ස් 15, නිපුන් රංසික 2/22, හරීන් බුද්ධිල 2/22, ජෙහාන් ඩැනියෙල් 1/28.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට